12. අම්බවන ප්‍රෙත කථාව
805. “තාගේ මේ පොකුණද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තී මහත් දිය ඇත්තීද වෙයි. මනාව පිපි මල් ඇත්තීද බමර සමූහයාගෙන් ගැවසුනේද වෙයි. තා විසින් මේ මනරම් පොකුණ කෙසේ ලබන ලද්දීද?
806. “තාගේ මේ අඹ උයන ඉතා මනරම්වෙයි. සියලු ඍතුන්හී සැප එලවයි. පලදරයි. මනාව පිපි මල් ඇත්තේ බමර සමූහයාගෙන් ගැවසුණේ වෙයි. තා විසින් මේ විමන කෙසේ ලබන ලද්දේද?
807. “මා දුව විසින් ඒ දෙනලද දාන හේතුවෙන් ඉදුනු අඹ හා පැන්ද, කැඳද, සිහිල් සෙවනද එහිදී මට ලැබෙයි.
808. “දානයාගේද, ඉන්ද්රිය දමනයාගේද, සීල සංයමයාගේද, මෙලොවමවූ විපාකය මෙසේ බලව්. මම ස්වාමීන්ගේ ගෙදර දාසියෙක්වී නැවත යෙහෙළියක් වී නැවත ස්වාමිදුවක්ද වීමි.”
අම්බවනපෙතවත්ථු ද්වාදසමං.
13. අක්ඛරුක්ඛ ප්‍රෙත කථාව
809. “යම් දාන වස්තුවක් දායකතෙම දේද, එයම විපාක භාවයෙන් නොවෙයි. දානය දෙන්නේමය. දී මෙලොව දුක ඉක්මවයි. ඒ දාන හේතුවෙන් දෙව්ලොව සැපතට නොහොත් තමන් හා අනුන්යයි දෙවැදෑරුම් හිත සැපයට පැමිණෙයි. පුබුදුවයි, පමා නොවව්.”
අක්ඛරුක්ඛපෙතවත්ථු තෙරසමං.
14. භොගසංහාර ප්‍රෙත කථාව
810. “අපි යුක්ති වශයෙන්ද අයුක්තියෙන්ද වස්තු සම්පත් රැස්කළෙමු. ඒ වස්තුව සෙස්සෝ පරිභොග කරත්. අපි මහත් දුකට හිමිවූවෝ වෙමු.”
භොගසංහරණපෙතවත්ථු චුද්දසමං.
15. සෙට්ඨිපුත්ත ප්‍රෙත කථාව
811. “ලොහො කුඹු නිරයෙහි පැසෙන්නාවූ අපට සැට දහසක් අවුරුදු සැම ලෙසින් පිරුණාහුය. කවර කලෙක කෙළවර වන්නේද?
812. “නිදුකාණෙනි, මාගේද, තාගේද දුක් විඳීමේ කෙළවරක් නැත්තේය. අවසනක් කොයින්ද කෙළවර දක්නා නොලැබේ. එපරිද්දෙන්ම පව්කම් මා හා තා විසිනුත් කරණ ලදී.
813. “යම්බඳු අපි දාන වස්තු ඇති කල්හී කිසිවක් නොදුනිමු. ගර්හිත ජීවිතයක් ඇතිව ජීවත් වීමු. දාන වස්තු ඇතිකල්හි තමහට පිහිටක් අපි නොකෙළෙමු.”
814. “ඒ එසේ මැයි. ඒ මම මෙයින් සැව ගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව යාචකයන්ගේ වදන් දක්නාසුලුව සිල්වත්ව ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමි.”
සෙට්ඨිපුත්තපෙතවත්ථු පණ්ණරසමං.
16. සට්ඨිකූට ප්‍රෙත කථාව
815. “තෝ උතුම් ස්වභාව ඇත්තකු මෙන්ද, කරකැවෙන්නාවූ මුවකු මෙන්ද, කුමක් හෙයින් ඔබමොබ දුවන්නෙහිද නිසැකව පවකම් ඇත්තෙකි. කුමක් හෙයින් ඉතා නාද කරමින් හැසිරෙන්නෙහිද?”
816. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
817. “මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මාගේ මස්තකය බඳිත්.
818. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ඉදං දුක්ඛං නිගච්ඡසි.”
819. “තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.
820. “ඉක්බිති වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති රුක්මුල භාවනා කරමින් වැඩහුන්නාවූ බිය නැත්තාවූ සුනෙත්‍ර නම් වූ පසේ බුදුන් මම දුටුවෙමි.
821. “උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරින් පොඩි කෙළෙමි. ඒ අකුශල කර්ම විපාක හේතුවෙන් මෙබඳු දුකට පැමිණියෙමි.
822. “මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මාගේ මස්තකය බඳිත්.
823. “නින්දිත පුරුෂය තට සුදුසුවූ කරුණෙන්ම තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.”
සට්ඨිකූටසහස්සපෙතවත්ථු සොළසමං.
මහාවග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
අම්බසක්ඛරය, සෙරිස්සකය, පිඞ්ගලය, රෙවතීය, උච්ඡුඛාදකය, කුමාරයෝ දෙදෙනාය, ගූථඛාදකයෝ දෙදෙනාය, ගණය, පාටලීය, පොක්ඛරණීය, අම්බරුක්ඛය, භොගසංහාරය, සෙට්ඨිපුත්තය, සට්ඨිකූටය යැයි මෙහි වස්තූහු සොළසක් වෙත්. එහෙයින් කියනු ලැබේ.
ප්‍රෙත වස්තුව නිමි.