8. දෙවෙනි මිගලුද්දක ප්‍රේත කථාව
490. “දිව්‍යමය කූටාගාරයෙහි හා පහයෙහිද දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද්දාවූ පර්යංකයෙහි පඤ්චාංගික තූර්ය නාදයන් විසින් මනාව වාදනය කරණ කල්හි සිත් අලවන්නෙහිය.
491. “ඉන්පසු රාත්‍රිය අවසන්වූ කල්හි සූර්යයා උදාවූ කල්හි සොහොනෙහි බහාලන ලදුව බොහෝ දුකට පැමිණෙන්නෙහිය.
492. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
493. “මම පෙර රම්‍යවූ රජගහ නුවර නොහික්මී රෞද්‍රකම් ඇති සතුන් මරණ මුව වැද්දෙක් වීමි.
494. “ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උපාසක යහළුවෙක් විය. ඒ උපාසකයාගේ ගෙදරට පැමිණෙන ගෞතම ශ්‍රාවකවූ රහත් භික්ෂු නමක් විය.
495. “ඒ රහතන් වහන්සේද ‘දරුව ලාමකවූ ප්‍රාණඝාත අකුශල කර්මය නොකරව. දුගතියට නොයවයි’ කියා අනුකම්පා කරමින් නැවත නැවතත් මා පවින් වැළැක් විය.
496. “ඉදින් පරලොවදී සැප කැමැත්තේ නම් ප්‍රාණඝාතයෙන් වලකිනු යන සැප කැමතිවූ හිතානුකම්පීවූ උන්වහන්සේගේ වචනය අසා,
497. “බොහෝ කල් පවෙහි ඇලුනාවූ අඥානවූ මම සියලු කල්හි සතුන් මැරීමෙන්, වැලකීමට කළ අවවාදය නොකෙළෙමි. මහත්වූ ප්‍රඥාවත්වූ ඒ රහතන් වහන්සේ දයාවෙන් මා නැවත හික්මවූ සේක.”
498. “ ‘ඉදින් දවල් කාලයෙහි සතුන් මැරීමෙන් වැළකිය නොහැකි නම් රාත්‍රියෙහිවත් සත්ව ඝාතනයෙන් වලකුවයි’ කීහ. ඒ මම දවල් සතුන් මරා රෑ සතුන් මැරීමෙන් වැළකුනෙමි.”
499. “මම රාත්‍රියෙහි දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් විසින් පිරිවරන ලදුව දැන් දිවසැප විඳිමි. දවල් කාලයෙහි බල්ලන් විසින් කන ලදිමි. රාත්‍රි ප්‍රාණඝාතයෙන් වැලකුණු කුශල විපාකයෙන් රෑ දිවසැප විඳිමි. දවල් බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් මා කන්නට දුවත්.
500. “යම් පුරුෂ කෙනෙක් වනාහි තථාගත ශාසනයෙහි අධි ශීලාදියෙහි නිතර දැඩිසේ යෙදුනාහුද ඒ පින්වත් ජනයෝ හුදෙක් ලෞකික සැප හා මිශ්‍ර නොවූ නිවනට පැමිණෙත් යයි සිතමි.”
දුතියමිගලුද්දකපෙතවත්ථු අට්ඨමං.
9. කූට විනිශ්චයික ප්‍රේතයාගේ කථාව
501. “දිවමල් දරන්නාවූ හිස් වෙළුම් ඇති බාහු වලලු ඇත්තෙහිය. තාගේ ශරීරය සඳුන් රස ගල්වන ලද්දාහ. මුහුණේ පාට පැහැදිලිය තරුණ සූර්යයා වැනි පැහැය ඇතිව බබළයි.
502. “යුෂ්මතාගේ අත් පා මෙහෙ කරන්නාවූ දෙවිවූ යම් මේ පිරිසෙහි වූවෝ වෙත්ද, නුඹගේ යම් යම් පරිචාරිකාවූ දස දහසක් දෙවඟනෝ වෙත්ද
503. “ඔව්හු සක් වළලු හා අඟු පළඳනා දරන්නාහ. රුවන් මුදුන් මල් කඩින් සැරසුනාහ. නුඹ ලොමු දැහැගැනුම් ස්වභාව ඇති මහත් ආනුභාව ඇත්තෙහිය. තමාගේ පිට මස් තෙමේම කන්නෙහිය.
504. “කයින් වචනින් මනසින් කිනම් දුශ්චරිතයක් කරණ ලදද, කිනම් අකුශල කර්මයක්හුගේ විපාක හේතුවකින් තමාගේ පිට මස් තෙමේම කඩාගෙන කන්නෙහිද?”
505. “මම මිනිස් ලොවදී කේලාම් හා බොරු කීමෙන්ද කෛරාටික කමින් හා වංචාවෙන්ද තමහට අවැඩ පිණිස හැසුරුනෙමි.
506. “එහිදී මම පිරිස් මැදට ගොස් හැබෑ කියන්ට යුතු කාලය පැමිණ සිටි කල්හි වැඩ ඇති කාරණය හැරදමා අධර්මය අනුව පැවතුනෙමි.