7. මිගලුද්දක ප්‍රේතයාගේ කථාව
480. “තරුණ දෙවතාවන් හා දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලද්දාවූ සිත්කළුවූ කාමකොට්ඨාසයන්ගෙන් යුක්තව රාත්‍රී කාලයෙහි හොබනෙහිය. දවල්කාලයෙහි දුක් අනුභව කරන්නෙහිය. පූර්වජාතියෙහි කිනම් කර්මයක් කෙළෙහිද?”
481. “මම රම්‍යවූ සිත්කළුවූ ගිරිබ්බජනම්වූ රජගහනුවර පූර්වජන්මයෙහි ලේවැකුණු අත් ඇති දරුණුවූ මුව වැද්දෙක්වීමි.
482. “එකල්හි ඉතා දරුණුවූ පරපීඩාවෙහි ඇලුනු නොහික්මුනාවූ කිසිවෙකු සමග විරුද්ධයක් නොකරන්නාවූ බොහෝ සත්වයන් කෙරෙහි දූෂිත වූ සිත් ඇතිව හැසුරුනෙමි.
483. “ඒ මට යහපත් සිත් ඇති ශ්‍රද්ධාවත්වූ උපාසක මිත්‍රයෙක්විය. හෙතෙමේද අනුකම්පාකරමින් නැවත නැවත මා වැලැක්විය.
484. “සහෝදරය, ලාමක අකුශල කර්මය නොකරව, දුගතියට නොයව, පරලොවදී සැපය ඉදින් කැමති නම් අසංවරවූ ප්‍රාණඝාත අකුශලයෙන් වෙන්වෙව.
485. “සැප කැමතිවූ හිත අනුකම්පා ඇති ඔහුගේ වචනය අසා බොහෝකල් පවෙහි ඇලුනාවූ නුවණ නැත්තාවූ මම සියලු අනුශාසනාව නොකෙළෙමි.”
486. “යහපත්වූ බොහෝ නුවණැති ඒ උපාසකතෙම නැවත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටවිය. ඉදින් දවල් කාලයෙහි සත්වයන් නසන්නෙහි නම් යලිත් රාත්‍රියෙහි තාගේ සංවරය ඇතිවේවා.
487. “ඒ මම දවල් කාලයෙහි සත්වයන් නසා රෑ කාලයෙහි වෙන්වූයේ සංවර ඇත්තෙක්වීමි. මම රාත්‍රියෙහි ඉඳුරන් හසුරුවම නොහොත් දෙව්සැප විඳිමි. දවල් කාලයෙහි දුකට පත් වූයේ දුක්විඳිමි.
488. “ඒ කුශල කර්මයාගේ විපාකයෙන් රාත්‍රියෙහි දිවසැප වළඳමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන්සේ සුනඛයෝ හාත්පසින් කෑමට දිවඑත්.
489. “යම් ඒ පුරුෂයෝ වනාහී තථාගත ශාසනයෙහි ස්ථිර වශයෙන් දැඩිසේ යෙදුනාහු නිතර අනුයොගවත්වූවෝ වෙත්ද, ඒ පින්වත්හු හුදෙක් රැස්කිරීමෙන් තොර නිර්වාණයටම පැමිණෙත්යයි සිතමි.”
මිගලුද්දකපෙතවත්ථු සත්තමං.
8. දෙවෙනි මිගලුද්දක ප්‍රේත කථාව
490. “දිව්‍යමය කූටාගාරයෙහි හා පහයෙහිද දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද්දාවූ පර්යංකයෙහි පඤ්චාංගික තූර්ය නාදයන් විසින් මනාව වාදනය කරණ කල්හි සිත් අලවන්නෙහිය.
491. “ඉන්පසු රාත්‍රිය අවසන්වූ කල්හි සූර්යයා උදාවූ කල්හි සොහොනෙහි බහාලන ලදුව බොහෝ දුකට පැමිණෙන්නෙහිය.
492. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
493. “මම පෙර රම්‍යවූ රජගහ නුවර නොහික්මී රෞද්‍රකම් ඇති සතුන් මරණ මුව වැද්දෙක් වීමි.
494. “ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උපාසක යහළුවෙක් විය. ඒ උපාසකයාගේ ගෙදරට පැමිණෙන ගෞතම ශ්‍රාවකවූ රහත් භික්ෂු නමක් විය.
495. “ඒ රහතන් වහන්සේද ‘දරුව ලාමකවූ ප්‍රාණඝාත අකුශල කර්මය නොකරව. දුගතියට නොයවයි’ කියා අනුකම්පා කරමින් නැවත නැවතත් මා පවින් වැළැක් විය.