3. රථකාර ප්‍රේතයාගේ කථාව
440. මහත් දිව්‍ය ආනුභාව ඇති දෙවඟන, වෛධූර්යමය කණු ඇති මනොඥවූ පැහැ විහිදෙන්නාවූ, නොයෙක් සිතියමින් සැරසුණු විමනට නැඟී අහස්තලයෙහි පසලොස්වක් දින චන්ද්‍රයා මෙන් ඒ විමනෙහි හිඳිනෙහිය.
441. “තීගේ ශරීර වර්ණයද ඔප් නැගූ ස්වභාව ඇත්තේ රන් හා සමානවූයේ අතිශයින් දර්ශනීය වෙයි. බොහෝ වටිනා ශ්‍රේෂ්ඨ ආසනයෙහි තී හුදකලාව හිඳින්නී වෙයි. තිට හිමියෙක්ද නැත්තේය.
442. “තීගේ මේ පොකුණු හාත්පස බොහෝ මල් ඇත්තාහ. බොහෝ සුදු පියුම් ඇත්තාහ. රුවන් වැල්ලෙන් හාත්පස ගැවසීගත්තාය. එහි මැද දියසෙවෙල්ද නැත්තේය.
443. “දර්ශනීයවූ මනොරම්‍යවූ මේ හංසයෝද, ජලයෙහි සැම කල්හි ඔබමොබ හැසිරෙත්. සියල්ලෝම එක්ව පිඬු කළ නාද ඇතිව ගෙරින්ගේ ඝොෂණය මෙන් මිහිරි කොට නාද කරත්.
444. “එම්බා ඉසුරුමතිය, තී දිව්‍යමය ඍද්ධියෙන් ඉතාමත් දිලිසෙමින් රුවන් නැවෙහි එල්බී හිඳිනෙහි වෙළුන නිල් දික් ඇස් ඇත්තී ලොව ඇති සිනහමුව ඇති ප්‍රියවචන කියන්නාවූ ශොභන අංගප්‍රත්‍යංග ඇත්තීය. අතිශයින් බැබලෙයි.
445. “මේ විමන රජස් රහිතවූ, සම භූමියෙහි පිහිටියාවූ නන්දන වනයෙන් යුක්තවූ සැප ප්‍රීති වර්ධනය කරන්නකි අලාමක දැකුම් ඇති ස්ත්‍රිය මම තී හා සමග නන්දන නම්වූ, මේ නන්දන වනයෙහි ඇලෙන්නට කැමැත්තෙමි.”
446. “මෙහි විපාක වින්ද යුතුවූ, කුශල කර්මයක් කරව. නුඹගේ සිතද මෙහි පිහිටවා මෙසේ මෙතැන විපාක වින්ද යුතුවූ කුශල කර්මයකොට කැමතිවියයුතු කාමයෙන් යුක්තවූ මා ලබන්නෙහිය.”
447. හෙතෙම මැනවයි ඇගේ වචන පිළිගෙන එහි විපාක විඳීමට සුදුසු වූ කුශල කර්මය කෙළේය. මාණවකතෙම එතැන්හි වින්ද යුතුවූ කුශල කර්මය කොට ඇගේ සහභාවයට පැමිණියේය.
රථකාරපෙතිවත්ථු තතියං.
භාණවාරං දුතියං නිට්ඨිතං.
4. භුස (බොල්) ප්‍රෙතයාගේ කථාව
448. “එකෙක් හැල් වී බොල් හිස විසුරුවා ගනී. නැවත තවත් එකෙක් හිස සිඳීමට පැමිණෙයි. මේ ස්ත්‍රියද තම පිට මස් හා ලේ අනුභව කරයි. තීද අපවිත්‍රවූ පිළිකුල්කටයුතුවූ අශුචි අනුභව කෙරෙහිය. කවර අකුශල කර්මයක්හුගේ මේ විපාකය වේද?”
449. “මේ තෙම පෙර මවට හිංසාපීඩා කෙළේය. මෙතෙම කූටවෙළෙන්දෙකි. මෝතොමෝ මස් කා බොරු කීමෙන් වංචාකෙළේය.
450. “මම මිනිස් ලොව මනුෂ්‍යයෙක්ව සියලු කුශලයට ඊශ්වරවූ ගෘහපතියෙක් වීමි. ධනය ඇති කල්හිම නැතැයි අඟවා මෙයින් කිසිවක් නුදුනිමි.
451. “මෙය මාගේ ගෙයි නැතැයි බොරු කියමින් වසාලීමි ඉදින් මාගේ ගෙයි ඇතිව සඟවන්නෙම් නම් මාගේ ආහාරය අශුචි වේවා.
452. “ඒ අකුශල කර්මයාගේද මුසාවාද අකුශලයාගේද, කර්ම දෙදෙනාගේ විපාක හේතුවෙන් සුවඳැල් සහල් පිළිබඳවූ බත මාහට අශුචි බවට පෙරළෙයි.
453. “කුශලා කුශල කර්මයෝ හිස් නොවෙත්. එය කර්මය නොවැනසේමය. දුගඳවූ හටගත් පණුවන් ඇති අශුචි අනුභව කරමි. පානයද කරමි.”
භුසපෙතවත්ථු චතුත්ථං.