2. සාණවාසී ප්රේතයාගේ කථාව
408. “කුණ්ඩි නම් නුවර උපන් සම්බන්ධ කම් ඇති සාණු පර්වතයෙහි වසන්නාවූ නමින් පොට්ඨපාද නම්වූ සමිත පාපීවූ වඩනාලද ශ්රද්ධාදී ඉන්ද්රියයන් ඇති ස්ථවිරනමක් විය.
409. ඒ තෙරුන්ගේ මවුද පියාද සහෝදරයා දුක්ඛිතවූද ප්රේත ලෝකයෙහි උපන්නාහුය. පව්කම් කොට මෙයින් ප්රේතලෝකයට ගියාහුය.
410. දුක්පත්වූ ඉඳිකටු බඳු රූක්ෂ වස්ත්රාදියෙන් පීඩිතවූ ක්ලාන්තවූ කායචිත්ත ඇති නග්නවූ කෘශවූ බියෙන් තැති ගන්නාවූ හටගත් මහත් බිය ඇති දරුණු කම් කළාවූ ඒ ප්රේතයෝ තමන් නොදක්වත්.
411. ඒ තෙරුන්ගේ සොහොයුරුතෙම බියෙන් දුරුව නිර්වස්ත්රව තනිව මාර්ගයෙහි යන්නේ සතරට වකුටුවී තෙරනුවනට තමා දැක්වීය.
412. ස්ථවිර තෙමේද මෙනෙහි නොකොට නිශ්ශබ්දවූයේ වැඩිසේක. ඒ ප්රේතතෙමේද “මම සහෝදරයෙමි ප්රේතාත්මයට පැමිණියෙමියි” තෙරුන්ට දැන්වීය.
413. “ස්වාමීනි, නුඹගේ මවුද පියාද ප්රෙත ලෝකයෙහි උපන්නෝ දුකට පත්වූවෝය. පවිටු කර්මයක් කොට මෙයින් ප්රෙත ලෝකයට ගියෝය.
414. දුක්පත්වූ ඉඳිකටු බඳු රූක්ෂ වස්ත්රාදියෙන් පීඩිතවූ ක්ලාන්තවූ කායචිත්ත ඇති නග්නවූ කෘශවූ බියෙන් තැති ගන්නාවූ හටගත් මහත් බිය ඇති දරුණු කම් කළාවූ ඒ ප්රේතයෝ තමන් නොදක්වත්.
415. කරුණාවන්තවූ ඔබවහන්සේ අපට අනුකම්පා කරණු මැනව. දන්දී පින් පමුණුවනු මැනව, නුඹ වහන්සේ විසින් දෙන ලද දාන හේතුවෙන් ක්රෑර කම් ඇත්තෝ යැපෙන්නාහ.”
416. ස්ථවිරතෙමේ තවත් භික්ෂූන් දොළොස් නමක්ද පිඬු පිණිස හැසිර බත්වැළදීම නිමිත්ත කොට එකට රැස්වූවාහුය.
417. ස්ථවිරතෙමේ “ලද යම් යම් දානය මට දෙව. නෑයන්ට අනුකම්පා පිණිස සඟ බත් කරන්නෙමියි.” ඒ සියල්ලන්ටම කීයේය.
418. තෙරුන්ට භාර කළාහුය. ස්ථවිරතෙම සංඝයා ආරාධනා කෙළේය. ස්ථවිරතෙම දන්දී මවටද පියාටද සහෝදරයාටද අනුමෝදන් කළේය.
419. “මාගේ නෑයන්ට මේ පින වේවා. නෑයෝ සුවපත් වෙත්වායි” පින් පැමිණවීමට අනතුරුවම භොජන පහළ විය.
420. ඒවා පවිත්රවූ ප්රණීතවූ මිහිරිවූ නොයෙක් රසමසවුලෙන් යුක්තවූහ. ඉන්පසු සහෝදරයා වර්ණවත්වූයේ ශක්තිමත්වූයේ සුවපත්වූයේ තමා දැක්වීය.
“ස්වාමීනි බලනු මැනවි. බොහෝවූ දිව්ය භොජන ලබන ලදී. අපි නග්නයෝ වෙමු. ස්වාමීනි යම්සේ වස්ත්ර ලබමුද. එසේ වෑයම් කරනු මැනව.”