1. අභිජ්ජමාන (නොගැටෙන) ප්‍රේතයාගේ කථාව
387. “එම්බා ප්‍රේතය, ගංගා නදියගේ පා තැබීමෙන් නොගැටෙන දිය මතුයෙහි නිර්වස්ත්‍රවූ පූර්වාර්ධයෙන් දෙවියකු වැනිවූ මල්මාලා පැලැන්දාවූ සරසනලද හිස ඇතිව මෙහි යන්නෙහිය. කොතැන්හි යන්නෙහිද? විසීම කොහි වන්නේද?”
388. “වාසභ ගමටත් බරණැසටත් මැද බරණැසට සමීපවූ චුන්දත්ථික නම් ගමට යන්නෙමියි” ඒ ප්‍රේතතෙම කියයි.
389. කොකාලිකයි කියා ප්‍රකටවූ මහා ඇමතිතෙම ඒ ප්‍රේතයා දැක ප්‍රේතයා සඳහා අත්සුනුද බත්ද ස්වර්ණවර්ණවූ වස්ත්‍ර යුග්මයක්ද දුනි.
390. “නැව නැවත්වූ කල්හි කරනැවෑමි උපාසකයෙකුට වස්ත්‍ර දෙකක් දෙවූයේය. ඔහුට වස්ත්‍ර දුන් කල්හි ස්ථාන වශයෙන් එකෙනෙහිම ප්‍රේතයාගේ ශරීරයෙහි දිවසළු දක්නා ලදී.
391. ඉන්පසු යහපත් දිව්‍යවස්ත්‍ර හැන්දේ මල් පැළැන්දේ සැරසුනේ විය. දන් දීමට සුදුසු තැන පිහිටියාවූ දක්ෂිණා තොමෝ මේ ප්‍රෙතයාට පින් පැමිණවූයේද එහෙයින් ප්‍රේතයන්ට අනුකම්පාවෙන් නැවත නැවත දන්දෙන්නේය.
392. සමහර ප්‍රේතයෝ සුන්බුන් රෙදිකඩ හැන්දෝද තවත් සමහරු කෙශයෙන් ලජ්ජාස්ථාන වසාගත්තෝද ආහාර පිණිස යත්. දිගින් දිගට යති.
393. ඇතැම් ප්‍රේතයෝ දුරතැන් දුවගොස් කිසිවක් නොලබාම නවතිත්. සාගිනි ඇත්තෝ හටගත් මුළා ඇතිව කරකැවෙමින් බිම වැටුනාහුවෙත්.
394. සමහරු ඒ ගිය තන්හි වැටී බිම වැටුනාහුවෙත්. පෙර ජාතියෙහි කුසල් නොකළාහුද අව්වෙහි ගින්නෙහි දැවුනවුන් මෙන් වෙත්.
395. “අපි පෙර ආත්මභාවයෙහිදී ලාමක ස්වභාව ඇති ගෘහ ස්වාමිනීවූ කුල මව්වරු වීමු. දිය යුතු දෙය ඇති කල්හි තමහට පිහිටක් නොකෙළෙමු.
396. “එසේ නමුත් බොහෝ වූ ආහාරපානද නසා දැමීමු සම්‍යක් ප්‍රතිපන්නවූ පැවිද්දන්ට කිසිවක් නොමදුනිමු.
397. “නොකටයුතු අකුශලයට කැමැත්තෝ වීමු. කුශල කරණයෙහි අලසයෝ වීමු. මිහිරි වස්තුවට ප්‍රියවීමු. බොහෝ කෑවෝ වෙමු. බත් පිඬක් පමණවත් දෙන්නාහු ප්‍රතිග්‍රාහකයන්ට පරිභව කෙළෙමු.
398. “ඒ ගෘහයෝද ඒ දාසයෝද ඒ ආභරණයෝද අපට නැත්තාහ. අනික් අය ඒ ගෘහාදිය පරිභොග කරත්, අපි දුකට හිමිවීමු.
399. “අවමන් කටයුතුවූ කුළු පොතු කුල ඇත්තෝ හෝ වෙත්. සම් කරු කුල ඇත්තෝද මිත්‍රද්‍රොහි වූවෝද සැඩොල් කුල ඇත්තෝද ඉතා අකරුණාවට පැමිණියෝද කරනැවෑමි කුලයෙහි නැවත නැවත උපදිත්.
400. “ඉතා දුක්පත්වූ යම් යම් නිහීන කුලයෝ වෙත්ද, ඒ ඒ කුලයන්හිම උපදිත්, මෙය මසුරුකම ඇත්තාගේ ස්වභාවයයි.
401. “පෙර පහකළ මසුරු මල ඇතිව කළ කුසල් ඇතිවූම දායකයෝ වෙත්ද, ඔව්හු තුමූ ස්වර්ග ලෝකය පුරවත්. නන්දන වනය බබුළුවත්.
402. “වෛජයන්ත ප්‍රාසාදයෙහිද ඇලී කාමසම්පත් පරිභොග කළාහු එයින් චුතව මහත් සම්පත් ඇති උසස් කුලයන්හි උපදිත්.
403. “කුලයෙහි උපන්නෝ කුළුගෙයිද පහයෙහිද දික්ලොම් ඇති කොඳු පලස් අතුරණ ලද පර්යංකයෙහි දිනූ සිරුර ඇති මොණර පිලින් සැරසුන විජිනිපත් ගත් අතින් යුක්තව පිරිවර ජනයා ඇත්තෝව ඇලෙත්.
404. “මල් මාලා දරමින් අලංකාර වූවාහු ඇකයෙන් ඇකයට යත්. සැප කැමතිවූ කිරි මවුවරු සවස් කාලයෙහි ද උදය කාලයෙහිද උපස්ථාන කරත්.
405. “ශොක රහිතවූ රම්‍යවූ දෙවියන්ගේ මහා වනයවූ මේ නදුනුයන පින් නොකළවුන්ට නොලැබේ. පින් කළවුන්ටම ලැබේ.
406. “පින් නොකළවුන්ට මෙලොවද පරලොවද සැපක් නැත. පින් කළවුන්ට මේ ආත්ම භාවයෙහිදීද පරලොවදීද සැපම ලැබේ.
407. “ඒ යථොක්ත දෙවියන් හා සහභාවය කැමැත්තන් විසින් බොහෝවූ කුශල කර්මය කටයුතුයි. පින් කළෝම දිව්‍ය පඤ්චකාම ගුණයෙන් යුක්තවූවාහු ස්වර්ගයෙහි සතුටු වෙත්”
අභිජ්ජමානපෙතවත්ථු පඨමං.
2. සාණවාසී ප්‍රේතයාගේ කථාව
408. “කුණ්ඩි නම් නුවර උපන් සම්බන්ධ කම් ඇති සාණු පර්වතයෙහි වසන්නාවූ නමින් පොට්ඨපාද නම්වූ සමිත පාපීවූ වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති ස්ථවිරනමක් විය.
409. ඒ තෙරුන්ගේ මවුද පියාද සහෝදරයා දුක්ඛිතවූද ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. පව්කම් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියාහුය.