1. 11.
73. “පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූ රියක්යයි, පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දසදිශා බබුළුවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.
74. “මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඬූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම්හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාපකර්මයක් කළාහුද,
75. “යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන් දී සුවපත් වූයේ සතුටු වෙයි.
76. “යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්වතරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යමවූ පුත්‍රයා විය මසුරු නොවූයේ දානපතියෙක් වූයේ දැන් බබළයි.
77. “ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති, යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත්වූවා දැන් සතුටු වෙයි.
78. “මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදිමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොව්හු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්. අපිදු අව්වේ දමනලද බටගස් මෙන් වියලුනෝ වම්හ.”
79. “තොපගේ ආහාරය කෙබඳුද, සයනය කෙබඳුද, ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහුද? ස්වල්ප නොවූ උදාර භොග සම්පත් ඇති කල්හි සැපය වරදවාගෙන මේ කාලයෙහි මේ දුකට පැමිණියාහුය.”
80. “අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නොපැමිණෙමු. තමන්ගේ රුචියෙන් එය නොබොන්නෙමු.
81. “මෙසේම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භොග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නොකෙරෙද්ද? අනුභව නොකෙරෙත්ද?
82. “ඒ සත්වයෝ දුක්ඛ විපාකවූ පව්කම්කොට පරලෙව්හි සා පිපාසායෙන් මඩනා ලද්දාහු ප්‍රේතයෝව බොහෝ කලක් මුළුල්ලෙහි දැවෙමින් දුක් විඳිත්. අනිෂ්ට ඵලවූ පව්කම් කොට දුක අනුභව කරත්.
83. “ධන ධාන්‍ය වැඩිකල් නොපවත්නේය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නොපවත්නේයයි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේය.
84. “ධර්මයෙහි දක්ෂවූ යම් ඒ මනුෂ්‍යකෙනෙක් මෙසේ තත්වූ පරිද්දෙන් දනිත්ද ඒ මනුෂ්‍යයෝ අර්හත්වූ බුද්ධාදී ආර්යයන්ගේ වචනය අසා දානයෙහි පමා නොවෙත්.”
11. නාග ප්‍රේතයාගේ කථාව
1. 12.
85. “සර්පතෙම දිරුණාවූ සම සිය සිරුරෙන් හැර දමායේද එසේම ශරීරය නිරර්ථකවූ කල්හි (ආයු, උෂ්ම, විඥානයන්) පහවූ කල්හි කළුරිය කළ කල්හි
86. “දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
87. “ඒ සිටිතැනින් නොකැඳවන ලදුව පැමිණියේය. මෙලොවින් අනුනොදන්නා ලදුව ගියේය. යම් ආකාරයකින් ආයේද, එසේම ගියේ වෙයි. එහිදී කවර හැඬීමක්ද?