1. 10.
58. “විමානය ඇතුළෙහි සිටින්නාවූ තී කවර ස්ත්‍රියක්ද, විමනෙන් නොනික්මෙයි. සොඳුර මහත් ඍද්ධි ඇති තී දකිනු කැමැත්තම්හ. තී විමනෙන් නික්මෙව.”
59. “නිර්වස්ත්‍රව පිටත නික්මීමට ලජ්ජා ඇත්තෙමි. හෙවත් දුක් ඇතිවෙමි. ලජ්ජා වෙමි. හිසකේ වලින් වැසුනු මුහුණ ඇත්තේ වෙමි. මා විසින් මඳ පිනක් කරණ ලදී.”
60. “එබැවින් තිට මගේ උතුරු සළුව දෙමි. මේ උතුරු සළුව හැඳගනුව, සුන්දරිය මේ වස්ත්‍රය හැඳගෙන පිටත නික්මෙව, සොඳුර පිටත සිටියාවූ තී දකිම්හ. තී පිටත නික්මෙව.”
61. “අතින් අතට නුඹ විසින් දෙන ලද්ද මට නොලැබේ. සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවකවූ ශ්රද්ධාවත්වූ මේ උපාසකයෙක්තෙම මොවුන් අතරෙහි ඇත්තේය.”
62. “මේ උපාසකයා වස්ත්‍රයෙන් අඳවා මට දක්ෂිණාව (පින්) දෙව. එසේ කල්හි මම සියලු කාම සැපතින් සමෘද්ධ වූවා සුවපත් වන්නෙමි.”
63. “ඒ වෙළෙන්දෝ ඒ උපාසකයා නහවා උතුම් සුවඳ ගල්වා වස්ත්‍ර දෙකකින් හඳවා ඒ ප්‍රේතියට දක්ෂිණාව දුන්හ.
64. “දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍ය භොජන සමානවූ භොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්ගද උපන, දානයාගේ මේ විපාකයයි.
65. “ඉක්බිති නෑමෙන් පිරිසිදුවූවා පිරිසිදු කසීසළුවලටත් වඩා උතුම් වස්ත්‍රධාරීව සිනාසෙමින් විමානයෙන් නික්මුනාය. දානයාගේ මේ විපාකය වේ.
66. “තීගේ මොනවට කරණලද චිත්‍ර රූප ඇති සිත්කළු විමන බබළයි. පින්වත් දෙවඟන, විචාරණ ලද්දේ කවර කුශල කර්මයක්හුගේ මේ විපාක දැයි” කියව.
67. “මම පිඬු පිණිස හැසිරෙන්නාවූ ඇද නැති බවට ගිය භික්ෂුවක් හට මනා පැහැදුනු සිතින් තෙල් මිරිකාගත් තල ස්වල්පයක් දුනිමි.
68. “ඒ කුශල කර්මයාගේ විපාකය බොහෝ කලක් මුළුල්ලෙහි විමනෙහි අනුභව කරයි, ඒ විපාකයද දැන් ස්වල්පය
69. “සිව් මසකින් මතු මාගේ කාලක්‍රියාව වන්නේය. මම ඒකාන්තයෙන් කටුකවූ දරුණුවූ අවීචි මහ නිරයෙහි වැටෙන්නෙමි.
70. “කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. ප්‍රමාණ කරණ ලදුව කොටස් වශයෙන් බෙදන ලද්දේය. යකඩ ප්රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
71. “ඒ අවීචි මහ නරකයෙහි යකඩින් වූ භූමිය දිලිසෙන්නේය. මහත් ගිනි දැලින් යුක්තය. හැමතන්හි හාත්පස යොදුන් සියයක් තැන පැතිර සිටී.
72. “මම ඒ මහා නරකයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනාව විඳින්නෙමි. මාවිසින් කළ පාප කර්මයාගේ ඵලයක් ඇත්තේය. ඒ හේතුවෙන් මම බොහෝ කොට ශොක කරමි.”
10. ඛල්ලාටිය (හිස මුඩු) ප්‍රේතියගේ කථාව
1. 11.
73. “පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූ රියක්යයි, පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දසදිශා බබුළුවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.
74. “මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඬූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම්හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාපකර්මයක් කළාහුද,
75. “යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන් දී සුවපත් වූයේ සතුටු වෙයි.
76. “යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්වතරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යමවූ පුත්‍රයා විය මසුරු නොවූයේ දානපතියෙක් වූයේ දැන් බබළයි.
77. “ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති, යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත්වූවා දැන් සතුටු වෙයි.
78. “මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදිමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොව්හු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්. අපිදු අව්වේ දමනලද බටගස් මෙන් වියලුනෝ වම්හ.”