1121. “මේ ලෝකයෙහි කවරෙක් තෙම නිදි දුරු කරන්නවුන් අතුරෙහි සයනය කෙළේවේද? මේ ලෝකයෙහි කවරෙක් තෙම සයනය කළවුන් අතුරෙහි නිදි දුරු කෙළේවේද, කවරෙක්තෙම මාගේ මේ ප්‍රශ්නය දනීද කවරෙක් මා විසින් අසනලද ඒ ප්‍රශ්නය විසඳන්ට සමර්ථ වේදැයි විචාළේය.
1122. “නිදි දුරු කරන්නවුන් අතුරෙහි මම සයනය කරන්නෙමි. සයනය කරන්නවුන් අතුරෙහි මම නිදි දුරු කෙරෙමි. මම මේ ප්‍රශ්නය දනිමි. මම තට එය ප්‍රකාශ කරන්ට පොහොසත්වෙමි.
1123. “කෙසේනම් තොප නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදීම් කෙළෙහිද, කෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කෙළෙහිද, කෙසේ මේ ප්‍රශ්නය දන්නෙහිද, මා විසින් අසන ලද ප්‍රශ්නය කෙසේ කියන්ට පොහොසත් වෙහිද,
1124. “යම් කෙනෙක් ශීල සංයමය (සන්සුන්කම) කියාද, ඉන්ද්‍රිය දමනය (හික්මවීම) කියාද, ධර්මය නොදන්නාහුද, ඒ සත්වයන් ක්ලේශ නිද්‍රාවෙන් නිදන කල්හි දේවතාවෙනි, මම අප්‍රමාද වශයෙන් නොනිදුවෙමි.
1125. “දේවතාවෙනි යම් ක්ෂීණාශ්‍රව තෙර කෙනෙකුන්ගේ රාගයද ද්වේෂයද අවිද්‍යාවද යන මොහු ප්‍රහීණ වූවාහුද, ඒ ආර්යයන් නොනිදන කල්හි මම නිදීම කෙළේ වෙමි.
1126. “මෙසේ මම නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදන්නේ වෙමි. මෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කරන්නේ වෙමි මෙසේ මේ ප්‍රශ්නය දනිමි. මෙසේ තව ප්‍රකාශ කරන්ට හැකිවෙමි.
1127. “යහපත්කොට නොනිදන්නවුන් අතුරෙහි නිදන්නෙහිය. යහපත්කොට නිදන්නවුන් අතුරෙහි නොනිදන්නෙහි, යහපත්කොට මේ ප්‍රශ්නය දන්නෙහිය. යහපත්කොට මා විසින් අසනලද ප්‍රශ්න විසඳන්ට සමර්ථ වෙහියයි” ප්‍රශංසා කෙළේය.
9. ජාගරජාතකං.
1128. “ආලමකවූ දර්ශන (දැකුම්) ඇති පසේ බුදුවරයන් කෙරෙහි පවත්වන ලද පරිචර්යා (වත්පිළිවෙත්) තොමෝ ස්වල්පවූවා නොවේමය. තෙල් නැති පැණි නැති කොමුපිඬු දීමෙහි විපාකය බලව.
1129. “මට ඇත් ගව අස්හුද ධන ධාන්‍යයෝද සියලු පෘථිවියද දෙවඟනන් වැනිවූ මේ වරඟනෝද බොහෝ වෙත්. කොමුපිඬු දීමෙහි විපාකය බලව.
1130. “පින්වත් රාජොත්තමය, නිරන්තරයෙන් ගාථාවන් කියන්නෙහිය. රට වඩන තැනැත්ත, ඔබ විචාරමි. අතිශයින් සතුටු සිත් ඇත්තේ මෙහි අර්ථය කියන්නෙහි.
1131. “මේ නුවරම එක් වෙළඳ කුලයෙක්හි උපන්නේවීමි. අනුන්ගේ වැඩකොට ජීවිකාව කරන්නාවූ බැළයෙන් රැකෙන්නාවූ ශීලසංවරයෙන් යුක්තවූවෙක් වීමි.
1132. “කර්මාන්ත පිණිස නික්මෙන්නාවූ මම ආචාරයෙන් හා ශීලයෙන් යුක්තවූ සිහිල් බවට පැමිණියාවූ කාමාදී ආශ්‍රව රහිතවූ ප්‍රව්‍රජිතයන් සතර දෙනෙකුන් දුටුයෙමි.
1133. “ඒ පසේ බුදුවරයන් කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩා හිඳුවා පසේ බුදුවරුන්ට පහන් සිත් ඇත්තේ සියතින් කොමුපිඬු දුන්නෙමි.
1134. “මාගේ ඒ කුශල කර්මයාගේ මේ විපාකඵලය මෙබඳුය. සියලු සම්පත්තීන් සමෘද්ධවූ උතුම්වූ පෘථිවිය ඇති මේ රාජ්‍යය අනුභව කරමි.
1135. “පිනට අධිපතිය, දානය කොටම අනුභව කරව. දානාදී පින්කමෙහි ප්‍රමාද නොවෙව, ධර්මචක්‍රය පවත්වව, රාජය, අධාර්මිකයෙක් නොවෙව කුශලාධිපතිය, ධර්මය රක්ෂා කරව.
1136. “සොඳුර කොසොල් රජහුගේ යහපත් දුව ඒ මම නැවත නැවත ආර්යයන් විසින් පුරුදු කරණ ලද ඒ මාර්ගයෙහිම හැසිරෙන්නෙමි. රහත්වූ පසේ බුදුවරයෝ මා දක්නට මනාප වෙත්.