1128. “ආලමකවූ දර්ශන (දැකුම්) ඇති පසේ බුදුවරයන් කෙරෙහි පවත්වන ලද පරිචර්යා (වත්පිළිවෙත්) තොමෝ ස්වල්පවූවා නොවේමය. තෙල් නැති පැණි නැති කොමුපිඬු දීමෙහි විපාකය බලව.
1129. “මට ඇත් ගව අස්හුද ධන ධාන්‍යයෝද සියලු පෘථිවියද දෙවඟනන් වැනිවූ මේ වරඟනෝද බොහෝ වෙත්. කොමුපිඬු දීමෙහි විපාකය බලව.
1130. “පින්වත් රාජොත්තමය, නිරන්තරයෙන් ගාථාවන් කියන්නෙහිය. රට වඩන තැනැත්ත, ඔබ විචාරමි. අතිශයින් සතුටු සිත් ඇත්තේ මෙහි අර්ථය කියන්නෙහි.
1131. “මේ නුවරම එක් වෙළඳ කුලයෙක්හි උපන්නේවීමි. අනුන්ගේ වැඩකොට ජීවිකාව කරන්නාවූ බැළයෙන් රැකෙන්නාවූ ශීලසංවරයෙන් යුක්තවූවෙක් වීමි.
1132. “කර්මාන්ත පිණිස නික්මෙන්නාවූ මම ආචාරයෙන් හා ශීලයෙන් යුක්තවූ සිහිල් බවට පැමිණියාවූ කාමාදී ආශ්‍රව රහිතවූ ප්‍රව්‍රජිතයන් සතර දෙනෙකුන් දුටුයෙමි.
1133. “ඒ පසේ බුදුවරයන් කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩා හිඳුවා පසේ බුදුවරුන්ට පහන් සිත් ඇත්තේ සියතින් කොමුපිඬු දුන්නෙමි.
1134. “මාගේ ඒ කුශල කර්මයාගේ මේ විපාකඵලය මෙබඳුය. සියලු සම්පත්තීන් සමෘද්ධවූ උතුම්වූ පෘථිවිය ඇති මේ රාජ්‍යය අනුභව කරමි.
1135. “පිනට අධිපතිය, දානය කොටම අනුභව කරව. දානාදී පින්කමෙහි ප්‍රමාද නොවෙව, ධර්මචක්‍රය පවත්වව, රාජය, අධාර්මිකයෙක් නොවෙව කුශලාධිපතිය, ධර්මය රක්ෂා කරව.
1136. “සොඳුර කොසොල් රජහුගේ යහපත් දුව ඒ මම නැවත නැවත ආර්යයන් විසින් පුරුදු කරණ ලද ඒ මාර්ගයෙහිම හැසිරෙන්නෙමි. රහත්වූ පසේ බුදුවරයෝ මා දක්නට මනාප වෙත්.
1137. “කොසොල් රජුගේ යහපත් දුවවූ සොඳුර, දෙවඟනක් බඳුවූ දේවියක් මෙන් මෙවරඟනන් මැද හොබනෙහිය. යහපත්වූ කිනම් කර්මයක් පෙර කෙළෙහිද, කවර කාරණයකින් වර්ණ ඇත්තියක් වීද,
1138. “මහරජ, මම එක්තරා කෙළෙඹි කුලයක අනුන්ගේ පනිවුඩ කාරීවූ දාසියක්වීමි. තුන්දොරින් සන්සුන්ව දැහැමින් දිවිපවත්වන්නී ආචාර ශීලයෙන් යුක්තවූ යහපත් දැකුම් ඇත්තියක්ද වීමි.
1139. “එකල්හි මම තමන්ට පැමිණි ඔසවා ගෙණෙන ලද බත් කොටස පිඬු පිණිස හැසිරෙන්නාවූ භික්ෂුවූ පසේ බුදු කෙනෙකුන්ට සතුටු වූයෙම් සොම්නස් ඇත්තී සියතින් දුනිමි. මාගේ ඒ කර්මයාගේ විපාකය මෙබඳුයයි කීයේය.”
10. කුම්මාසපිණ්ඩජාතකං.
1140. “මට අනිෂ්ටයක් එන්නේය, මට භයක් පැමිණෙන්නේය. ඊට හේතු කවරේදයත්, එකල්හි වනාහි අත්ත, මිනිසෙකු විසින් හෝ මෘගයෙකු විසින් හෝ සොලවන ලදී.
1141. “බියවන සුලුවූ නුදුරුතන්හි වසන්නාවූ මාගේ බැමිණිය කෙරෙහි මට කාමය උපන්නේද, හෙතෙම ඒකාන්තයෙන් පරන්තපනම් දාසයා බියගැන්වූ ඒ අත්ත මෙන් මා කෙට්ටුවූවෙකුද පඬුවන්වූවකුද කරන්නේය.
1142. “මාගේ කාන්තාතොමෝ ගමෙහි වසන්නී නින්දා නොකටයුක්ති මා ශොක කරවන්නීය. ඒ අත්ත පරන්තප යාමෙන් මා කෘශවූවෙකුද පඬුවන්වූවෙකුද කරන්නේය.
1143. “කෘෂ්ණවූ ඇස් කෙළවර ඇත්තිය තී විසින් වනාහි පවත්වන මද සිනාද මියුරු තෙපුල්ද මා ඒ අත්ත පරන්තපයා මෙන් කෘශවූවෙකුද පඬුවන්වූවෙකුද කරන්නේය.
1144. “ඒ අතු ශබ්දය තෙම තා කරා පැමිණියේ යයි සිතමි. ඒ ශබ්දය තෙමේ තට සැලකෙළේයයි සිතමි. යමෙක් තෙමේ ඒ අත්ත (ශාඛාව) සෙලවීද, ඔහු විසින් ඒ පියා මැරූ කාරණය කියන ලද්දේයයි සිතමි.