2. ගන්ධාර වර්ගය
1062. “සම්පූර්ණවූ සොළොස් දහසක් ගම්ද, මුක්තාමාණික්යාදීන් පිරුණාවූ කොටුගුල්ද හැර දැන් හෙටටය. අනිද්දාටයයි ලුණු ටිකක් රැස්කොට තිබීම කරන්නෙහිද?
1063. “බොහෝවූ ධන ධාන්‍ය ඇති ගන්ධාර රට හැර අවවාද අනුශාසනායෙන් නික්මුනේ දැන් මෙහිලා අනුශාසනා කෙරෙහිද?
1064. “වේදේහය, ධර්මය කියමි. මට අධර්මය රුචි නොවේ ධර්මය කියන්නාවූ මට පාපය නොඇලේ.
1065. “යම්කිසි කාරණයකින් අනික් තැනැත්තේ ගැටීම ලබයිද, පණ්ඩිත තෙමේ මහත් අර්ථ ඇත්තාවූද ඒ වචනය නොකියන්නේය.
1066. “ඒකාන්තයෙන් ගැටීම හෝ වෙන රොඩු මිටක්සේ විසිකිරීම හෝ වේවා. ස්වභාව ධර්මය කියන්නාවූ මට පාපයක් නොඇලේ.
1067. “ස්වකීයවූ ප්‍රඥාතොමෝ ඉදින් නොවන්නේනම් මනාව හික්මෙන ලද ආචාර විනය හෝ නොවේනම් බොහෝවූ ජනතෙම වනයෙහි ඇවිදිනාවූ ඇස් නැති මීමෙකු මෙන් ඇවිදින්නේය.
1068. “යම් හෙයකින් වනාහි මෙහිලා සමහර කෙනෙක් ආචාරීන් සමීපයෙහි මනාව හික්මුනාහුද, එහෙයින් හික්මුනු ආචාර විනය ඇත්තෝ මැදහත් සිත් ඇතිව හැසිරෙත්.”
1. ගන්ධාරජාතකං.
1069. “මහා කපිය, යමෙක් තමා හෙයක් කොට සුවසේ වානර සේනාව එතෙර කෙළේද? තෝ ඒ වානරයන්ට කවරෙකු වෙහිද තට ඔව්හු කවරහු වෙද්ද?
1070. “අරින්දම නම්වූ නරේන්ද්රය ඒ අසූදහසක් පමණ වානරයන්ට මම ප්‍රධානව සිටි රජවෙමි. ඔබගෙන් බියපත්වූ ශෝකයෙන් මඩනාලද ඔවුන්ගේ සමූහයා පරිහරණය කරන්නෙමු.
1071. “ඒ මම පැන තමා දුනු සියයක් හැර මේ වෘක්ෂයෙන් පැනගිය තැනින් ඈතදී අපර පාදයන්හි හෙවත් මාගේ ඉඟෙහි වැල්බාණක් දැඩිකොට බඳනා ලදී.”
1072. “වාතයෙන් සිඳිනලද මල්කඩක් මෙන් මා හරණ ලද්දෙම් වෘක්ෂයට පැමිණියෙමි. එසේ පැන්නාවූද ඒ මට ගසට ලංවන්ට නොහැකිවන්නේ එහි අත්තක් අත්වලින් අල්ලාගතිමි.
1073. “අතින් ගන්නාලද ශාඛාවෙන්ද, ඉඟබඳනාලද ලතායෙන් විශේෂයෙන් ආයතවූ හෙවත් ඇද සදනලද වීණා තතක් මෙන් ඒ මා පාවලින් නිතර ඇක්මෙන්නාවූ වානරයෝ සුවසේ ගියාහ.
1074. “ඒ මා වැලින් බැඳුනේ නොතවන්නේය. මාගේ හිංසාවද නොතවන්නේය. කුමක් හෙයින්දයත්? යම් කෙනෙකුන්ට මම රාජ්‍ය කෙළෙම්ද? ඔවුන්ට මා විසින් සුව එළවන ලදී. එහෙයිනි.
1075. “රාජය. ඔබට වැඩ දක්වන්නාවූ මේ උපමා තොමෝ කරණ ලදී. ප්‍රඥා සම්පන්නවූ ක්ෂත්රිය නම්වූ රජහු විසින් සියලු රාජ්‍යයටද යොග්ග නම්වූ අශ්වාදීන්ටද බල සේනාවටද නියම්ගම් වැස්සන්ටද යන සියල්ලවුන්ට සුවය සෙවිය යුතුයි.”
2. මහාකපිජාතකං.
1076. “වනාන්තරයෙහි මනාව වැඩුණාවූ නිල් පැහැ ඇති පලගත් අඹරුකක් මම දිටිමි. එය ඵල හේතුකොටගෙණ විශේෂයෙන් බිඳින ලද්ද දිටිමි. එය දැක පිඬු සිඟීමෙහි හැසිරෙමි.
1077. “මනුෂ්‍ය වීරයන් විසින් නිමවනලද ඉතා මටවූ හඬක් නැති මැණික් වළලුදෙක ස්ත්‍රීතොමෝ දැරීය. දෙවන වළල්ලට පැමිණ ශබ්ද වූයේය. එය දැක මම පිඬු සිඟීමෙහි හැසිරෙමි.
1078. “කුණපය ගෙණ එන්නාවූ තනි පක්ෂියෙකු බොහෝ පක්ෂීහු රැස්ව ඒ කුණපාහාරය හේතුකොටගෙණ පැහැර හෙළුෑහ, එය දැක මම පිඬු සිඟීමෙහි හැසිරෙමි.
1079. “ගව සමූහයා මැද සැලෙන මොල්ලිය ඇති වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ වෘෂභයෙකු මම දිටිමි. කාමය හේතුකොටගෙණ අඟින් විඳිනා ලද ඔහුත් දිටිමි. එය, දැක පිඬු සිඟීමෙන් හැසිරෙමි.
1080. “කලිඟු රට වැස්සන්ගේ කරණ්ඩුක නම් රජද ගන්ධාර දෙශ වාසීන්ගේ නග්ගජි නම් රජද විදෙහ රට වැස්සන්ගේ නිමි නම් රජද පඤ්චාල දෙශවාසීන්ගේ දුර්මුඛ නම් රජද යන මොව්හු රාජ්‍යයන් හැර කිසි වරදක් නැත්තාහු පැවිදිවූහ.