1084. “දූත කර්මාදී කටයුතු උසුලන්නාවූ උරෙහි බඳිනලද හෙල්ලය දමා ගසන්නාවූ යුද්ධයෙහි වික්‍රමකොට හැසිරෙන්නාවූ මමද දළ්හ ධර්ම නම් රජහුගේ සිත සතුටු නොකෙළෙම් නම් කවරෙක් සතුටු කෙළේද,
1085. “මාගේ වික්‍රමයද පුරුෂ ධෛර්‍ය්‍යයද යුද්ධයෙහි මනා කොට කරණලද කටයුතුද කරණලද දූත මෙහෙවරද ඒකාන්තයෙන් තොපගේ රජ නොදනියි.
1086. “නෑයන් රහිතවූ පිළිසරණක් නැත්තාවූ ඒ මම යම් හෙයකින් කුඹලාට ගොම වැරටි අදින්නක් කොට රජු විසින් දෙන ලද්දී වෙම්ද, එසේ හෙයින් ඒකාන්තයෙන් මැරෙන්නෙමි.
1087. “පුරුෂතෙම යම්තාක් ප්‍රාර්ථනා කෙරේද, ඒතාක් සේවනය කරයි. අර්ථයාගේ පහව යාම ඇතිකල්හි ගිලන්වූ ඔටුදෙන ඒ රජතෙමේ හැර දැමුවාක් මෙන් හැර දමත්.
1088. “යමෙක් පෙර කරණලද යහපත් කටයුතු ඇත්තේ කරණලද අර්ථ ඇත්තේ පසුව නොදනීද, ඔහුගේ ප්‍රාර්ථනා කරණලද යම් අර්ථ කෙනෙක් වෙද්ද, ඒ අර්ථයෝ විශේෂයෙන් නසිත්.
1089. “යමෙක් පෙර කරණලද යහපත් කටයුතු ඇත්තේ අනුන් විසින් කළ වැඩ ඇත්තේ පසුව දනීද, ඔහුගේ ප්‍රාර්ථනා කරණලද යම් අර්ථ කෙනෙක් වෙත්ද ඔව්හු වැඩියෙන් වැඩෙත්.
1090. “මෙහිලා යම් පමණ කෙනෙක් රැස්වූවාහුද එපමණ තොපට යහපතක් වේවා එය තොපට කියමි. හැමදෙනා කෙළෙහිගුණ දන්නෝවව් බොහෝ කලක් ස්වර්ගයෙහි සිටින්නහුයයි” කීයේය.
4. දළ්හධම්මජාතකං
1091. “යමෙක් පෙර වනාහි දුරවූ මා පෙර මගට යේද, මහත් ශරීර ඇති දිගින් යුක්තවූ සෝමදත්තතෙම නොදක්නා ලැබේ. කොයි ගියේදෝ
1092. “සිඳිනාලද මාළුවා වැලක් මෙන් ඒ සෝමදත්ත තෙම මලේ සයනය කෙරෙයි. මේ හෙතෙමේ මැයි. භූමියෙහි වැටුණේ සයනය කෙරෙයි. හස්තිතෙම ඒකාන්තයෙන් මළේය.
1093. “පරලොව ගියහු අනුව ශොක කෙරෙයි යන යමක් ඇද්ද, එය අනගාර්ය භාවයෙන් යුක්තවූ කාමයන්ගෙන් වෙන්වූ සිත් ඇති ශ්‍රමණයෙකුට සුදුසු නොවෙයි.
1094. “ශක්‍රය, ඒකාන්තයෙන් එක්ව වාසය කිරීමෙන් මනුෂ්‍යයෙකුටද මෘගයෙකුටද, හෘදයෙහි ප්‍රෙමය හටගණියි. ඔහුට ශොක නොකරන්නට නොපිළිවනි.
1095. “යම් කෙනෙක් ඒ මළහුට හඬත්ද, මම මැරෙන්නෙමියි හඬත්ද, වැලපෙත්ද එය හිස්යයි සත්පුරුෂයෝ කීහ. එසේහෙයින් නොහඬව, නොවැලපෙව,
1096. “බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තා නැගී සිටින්නේ නම් ඔවුනොවුන්ගේ මළ නෑයන්ට සියල්ලෝ එකතුව හඬමු.
1097. “ගිතෙල් ඉසින ලද්දාවූ ඇවිල ගන්නා ලද්දාවූම ගින්නක් වන්වූ මා ජලයෙන් තෙමන්නක්හු මෙන් සියලු පීඩාව නිවූයෙහිය.
1098. “මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක හුලයක් වීද, යමෙක් ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය දුරු කෙළේද, හෙතෙම මාගේ ශොක නමැති හුල උදුරා දැමීය.
1099. “දුරුවූ ශොක ඇති නොකැළඹුන සිත් ඇති ඒ මම උදුරා දමනලද ශොක හුල් ඇත්තේ වෙමි. එහෙයින් ශක්‍රය, ඔබගේ කීම අසා ශොක නොකරමි. නොහඬමි.”
5. සොමදත්තජාතකං.