6076. “මහරජ, ගැඹුරුවූ දිය සයුරෙක්හි නැවකින් ගමන් කරන්නාවූ ඔබගේ මව ආදී සත්දෙනා අතුරෙන් මිනිස් බිලියක් සොයන්නාවූ දියරකුසෙක් නැව අල්වා ගන්නේ නම් පිළිවෙළින් ඔහුට කවරෙකු කෙසේ දී දියරකුසා අතින් මිදෙන්නෙහිදැයි” භේරී නම් පරිව්‍රාජිකාව ඇසීය.
6077. “ස්වාමීනි, පළමුකොට මව දෙන්නෙමි. දෙවනුව භාර්‍ය්‍යාව දී තුන්වෙනුව සහෝදරයා දෙන්නෙමි. ඉන්පසු සතරවෙනුව යහළුවා දී පස්වෙනුව බ්‍රාහ්මණයා දෙන්නෙමි. සවෙනුව මම තමන් දෙන්නෙමි. මහෞෂධ පඬිහු නොම දෙන්නෙමියි” රජතෙම කීයේය
6078. “මහරජ, ඔබගේ මව ඔබ පොෂණය කළ තැනැත්තීවේ. ඔබගේ වැදූ මවදවේ. බොහෝ කලක් අනුකම්පා ඇත්තීදවේ. ඡම්හි නම් බ්‍රාහ්මණයා ඔබ කෙරෙහි ප්‍රදූෂ්‍යවූ කල්හි පණ්ඩිතවූ අර්ථ දක්නා සුළුවූ ඕතොමෝ අනිකෙකු ආශ්‍රයකොට ඔබ වධයෙන් මිදවීය.
6079. “ඒ එබඳුවූ ප්‍රාණය දුන්නාවූ ලෙහිකොට වැඩූ ගර්භයෙන් දැරූ මව කවර දෝෂයකින් දියරකුසාට දෙන්නෙහි දැයි” පරිව්‍රාජිකාව ඇසීය.
6080. “මහළුවූවත් තරුණියක මෙන් නොපැළඳිය යුතුවූ ආභරණ පළඳියි. දොරටුපාලයන්ද, සේනාවල සිටියවුන්ද සමග සීමාව ඉක්මවා මහත්කොට සිනාසෙයි.
6081. තවද සමීප රජුන්ට තොමෝ දූතයන් අත මා කී ලෙස හඟවා ලියා යවයි. ඒ දෝෂයන් නිසා මම මව දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
6082. “මේ නන්දා දේවීතොමෝ ස්ත්‍රී සමූහයාට උතුම්වූ ඉතාමත් ප්‍රිය තෙපුල් ඇති තරුණකල්හි පටන් අනුව ගියාවූ ආචාර ගුණයෙන් යුක්තවූ සෙවනැල්ල මෙන් නොහැර පවත්නාවූ
6083. “නොකිපෙන සුළුවූ ප්‍රඥා ඇත්තාවූ පණ්ඩිතවූ අර්ථ දක්නාසුළු තැනැත්තියක්වේ. එබඳු අගමෙහෙසිය කවර දෝසයකින් දියරකුසාට දෙන්නෙහිදැයි” පරිව්‍රාජිකාව ඇසීය.
6084. “කාම ක්රීඩාරතියෙන් යුක්තවූ අනර්ථකර කෙලෙසුන්ගේ වසඟයට ගියාවූ මාගෙන් ඒ නන්දා දේවි තොමෝ ස්වකීය දරුවන්ගේ නොඉල්වියයුතු වස්තුව ඉල්වයි.
6085. “කෙළෙස් වශයෙන් ඇළුනාවූ ඒ මම ඒ කුදු මහත් ධනය වහාදෙමි. නොදියයුත්ත දී පසුව මම නොසතුටුව ශෝක කරමි. ඒ දෝෂයෙන් මම අගබිසව දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
6086. “මහරජ, යමෙකු විසින් ජනපද වඩනා ලද්දාහුද පිටරට සිටි ඔබ නැවත ගෙදරට පමුණුවන ලද්දාහුද පිටරට වලින් ඔවුන් අභිභවනයකොට බොහෝ වූ ධනය ගෙණෙන ලද්දේද,
6087. “ධනුර්ධරයන්ගෙන් උතුම්වූ ශුරවූ සියුම් ප්‍රඥා ඇති ඒ සහෝදරයා කවර දෝෂයකින් දිය රකුසාට දෙන්නෙහිදැයි” පරිව්‍රාජිකාව ඇසීය.
6088. “මා විසින් ජනපදයෝ වර්ධනය කරණ ලද්දාහ. පිටරට සිටි රජුද සිය ගෙදරට පමුණුවන ලද්දාහ. අන් රට වලින් ඔවුන් මැඩපවත්වා බොහෝවූ ධනය ගෙණෙනලදී.
6089. “මම ධනුර්ධරයන් ගෙන් උතුම්ද වෙමි. ශුරයෙක්ද සියුම්වූ පිණ ඇත්තෙක්ද වෙමි. මා විසින් මේ රජතෙම සුවපත් කරණ ලද්දේයයි තරුණවූ මෙතෙම මා ඉක්මවා හඟියි.
6090. “ආර්‍ය්‍යාවෙනි, හෙතෙම පෙර පරිද්දෙන් මාගේ උපස්ථානයටද නොපැමිණෙයි ඒ දෝෂයෙන් සහෝදරයා මම දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.