“එම්බා මහෞෂධය, පඤ්චාල රට බ්රහ්මදත්ත නම් රජතෙම සියලු සේනාව සමග මෙහි ආයේය. පඤ්චාල රජ සන්තකවූ ඒ මේ සේනා තොමෝ අපමණ වන්නීය.
591. “පිටින් ගෙනෙන ලද උපකරණ ඇත්තීද, පාබල හමුදා ඇත්තීද, සියලු යුද්ධයෙහි දක්ෂයන්ගෙන් යුක්තද වන්නීය. හිස සිඳ හැරගන්නවුන්ගෙන් යුක්තවූ දශවිධ ශබ්දයන්ගෙන් යුක්තවූ ඒ සේනා තොමෝ බෙර සක් හඬින් ප්රබොධ කරන්නීවේ.
592. “ලෝහ ශිල්පීන් විසින් කරණ ලද සත් රුවන්මය ආභරණයන්ගේ ශෝභා ඇති ධජ වලින් යුක්තවූ වම්පසින් නැගිය යුතු ඇතුන් අසුන්ගෙන් යුක්තවූ හස්ති ශිල්පාදිය දන්නවුන්ගෙන් සමන්නාගතවූ ශූරවූ යෝධයන් විසින් මනාව පිහිටියාවූ සේනාවවේ.
593. “තවද මේ සේනාවෙහි මහත් ප්රඥා ඇති පණ්ඩිතයෝ දශදෙනෙක්යයි කියත්. රහස්ව ගමන් කරණ ස්වභාව ඇති රජුගේ මව් තොමෝ එකොළොස්වැනි වූවා පඤ්චාල රට සෙනගට අනුශාසනා කරයි.
594. “තවද මෙහි යශ පිරිවර ඇත්තාවූ පඤ්චාල රජු විසින් පැහැර ගන්නා ලද රටවල් ඇති භයින් පෙළුනාවූ පඤ්චාල රජුගේ වසඟයට ගියාවූ ඒ සීයක් රජ දරුවෝ අනුව යෙදුනාහු වෙත්.
595. “යමක් කියන්නාහු නම් එය කරන්නාහු, රජහුට නොකැමතිවත් ප්රිය තෙපුල් කියන්නාහු, නොකැමතිව වසඟයට ගියාහු පඤ්චාල රජු අනුව ගමන් කෙරෙත්.
596. “ඒ සේනාව විසින් මියුළු නුවර ත්රිසන්ධියකින් වට කරණ ලදී. විදේහ වැස්සන්ගේ රාජධානිතොමෝ හාත්පසින් සාරා දමනු ලැබේ.
597. “මහෞෂධය, හාත්පස පිරිවරණ ලද සේනාවෝ ගන්නා ලද දඬුවැට පහණින් යුක්තවූවාහු උඩ හටගත් තාරකා මෙන් පැණෙත්. කෙසේ නම් මිදීම වන්නේදැයි දනුවයි” රජතෙම කීයේය
598. “දේවයන් වහන්ස, නුඹවහන්සේ සුවසේ රජසුව නමැති පාදයන් දිගහැරිය මැනව. කාම සම්පත්ද අනුභව කරණු මැනව. සිත් අලවා වාසය කරණු මැනව. පඤ්චාල රටට අයත් සෙනග හැරදමා මේ බ්රහ්මදත්ත රජතෙම පැනයන්නේයයි” මහෞෂධතෙම කීයේය.
599. “මහරජ, අපගේ රජතෙම ඔබ හා මිත්රසන්ථවය කැමතිව ඔබට රත්නයන් පඬුරුකොට දෙයි. ඒ පඤ්චාල නුවරින් මිහිරිවූ ප්රිය තෙපුල් කියන්නාවූ දූතයෝ පඬුරු ගෙණ මෙහි එත්වා. මෙනුවරින්ද එහි යත්වා.
600. “යම් වචනයෝ සතුටුවීමෙන් යුක්තවෙද්ද, එබඳු මෘදු වචන කියත්වා. පඤ්චාල වැස්සෝද විදේහ වැස්සෝද, යන ඒ දෙරට වැස්සෝ එකහා සමාන වෙත්වායි” කේවට්ට තෙම කීයේය.
601. “එම්බා කේවට්ටය, කෙසේද, මහෞෂධ පඬිහු හා එක්වූයේ වෙහිද එසේ නම් එය කියව. කිමෙක්ද, හෙතෙම ඔබ විසින් ක්ෂමා කරවන ලද්දේද, කිම මහෞෂධතෙමේ සතුටුවූයේදැයි” රජතෙම ඇසීය.
602. “මහරජ, අනාර්ය්ය ස්වභාව ඇති ඒ පුරුෂතෙම කිසිසතුටක් නැත්තාවූ තදවූ අපණ්ඩිත ස්වභාව ඇත්තෙකැයි සිතමි. ගොළුවෙක්ද බිහිරෙක්ද මෙන් හෙතෙම කිසි කරුණක් නොකීයේයයි” කේවට්ටතෙම කීයේය.
603. “ඒකාන්තයෙන් මේ රහස් මන්ත්රණය කිසිවෙකු විසිනුත් නොදැකිය හැකිවේ. වීර්ය්යවන්ත මනුෂ්යයා විසින් පිරිසිදුවූ කාරණය දක්නාලද්දේවේ. එසේ හෙයින් මාගේ ශරීරය වෙව්ලයි ස්වකීය රටහැර කවරෙක් නම් අනුන් අතට පැමිණෙන්නේදැයි” රජතෙම සිතූයේය.
604. “උතුම් බවට පැමිණියාවූ යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද, ඒ අප සදෙනාගේ වනාහි එකම අදහස සමානවේ. මහෞෂධය, එහි අපගේ යාම හෝ නොහොත් නොයාම නැතහොත් මෙහි සිටීම රුචිවේද, ඔබත් කල්පනා කරවයි” රජතෙම කීයේය.
605. ‘මහරජ, චුලනී බ්රහ්මදත්ත නම් රජතෙම මහත් ආනුභාව ඇත්තෙක. මහත් බලයෙන් යුක්තයයි ඔබ දන්නෙහිද? ඒ රජතෙමේද වැද්දෙක් දඩමුවදෙනක නිසා මුවෙකු අල්ලා ගන්නාක් මෙන් ඔබ අල්ලාගනු කැමතිවේ.