1518. “විධුර පණ්ඩිතතෙම නෑ සමූහයාට මෙසේ අනුශාසනාකොට මිත්‍රයන් විසින් පිරිවරණ ලද්දේ රජු වෙතට පැමිණියේය.
1519. “හිස් කරණකොටගෙණ පා වැඳ ඒ රජහු පැදකුණුද කොට විධුර පණ්ඩිතතෙම ඇඳිලි බැඳගෙණ රජුට මෙය කීයේය.
1520. “මහරජ, මේ මානවකතෙම ඔහුගේ අදහස පරිදි කරණු කැමැත්තේ මා ගෙණ යයි. නෑයන්ට හිතවූවක් කියන්නෙමි එය ඇසුව මැනව.
1521. “මාගේ දරුවන්ද බැලුව මැනව. මාගේ ගෘහයෙහි අන්‍යවූ යම් ධනයකුත් ඇද්ද, එයද බැලුව මැනව. මා ගිය කල්හි නෑ සමූහයා පසුව යම්සේ නොපිරිහෙන්නේද, එසේ කරණු මැනව.
1522. “යම්සේ පෘථිවියෙන්ම පැකුලුනේ පෘථිවිය ආධාර කොටම සිටීද මාගේ මේ පැකිලීමද මෙසේය. මාගේ මේ වරද දකිමියි” විධුරතෙම කීයේය.
1523. “එම්බා විධුර පණ්ඩිතය, තොපට යන්ට නොහැකිය මට මෙසේ සිතක් වෙයි. මේ මානවකයා මෙහි කැඳවා ගසා මරා මෙහිම සිටුව. මෙසේ මට කැමති වේ. මහත් ප්‍රඥා ඇති උත්තමය, ඔබ නොයවයි” රජතෙම කීයේය.
1524. “මහරජතුමනි, අධර්මයන්හි සිත නොපිහිටවනු මැනව. අර්ථයෙහිද ධර්මයෙහිද යෙදුනෙක් වෙව. යම් කර්මයක් කොට පසුව නරකයට පැමිණෙන්නේද, එබඳු අනාර්‍ය්‍යවූ අකුශල කර්මයට නින්දාවේවා.
1525. “මේ තෙම ස්වභාව ධර්මයෙක් නොවේමය. නැවත මෙය කටයුත්තක්ද නොවෙයි. මහරජ, ස්වාමියා වනාහි දාසයාට අධිපතිවේ. නසන්ටද දවන්ටද තවද රක්ෂා කරන්ටද ලබයි. මාගේ මානවකයා කෙරෙහි ක්‍රෝධයකුත් නැත. මමද යමියි” පණ්ඩිතතෙම කීයේය.
1526. ඉක්බිති ඒ විධුර පණ්ඩිතතෙම වැඩිමහළු පුත්‍රයා වැළඳගෙණ හිතෙහි ශෝකය දුරුකොට කඳුළු පිරුණු නෙත් වලින් යුක්තව මහත්වූ ප්‍රාසාදයට ඇතුල්වූයේයි.
1527. “විධුර පණ්ඩිතයාගේ ප්‍රාසාදයෙහි දරුවෝද භාර්‍ය්‍යාවෝද මහසුලඟකින් මඩනාලද එහා මෙහා පෙරළුනාවූ සල් වනයෙක්හි සල්ගස් මෙන් වැටී ශයනය කරත්.
1528. “විධුර පඬිහුගේ ගෘහයෙහි ස්ත්‍රින් දහසක්ද දාසීන් සත්සියයක්ද හිස අත් බැඳගෙණ ඇඬුවාහුය.
1529. “විධුර පඬිහුගේ ගෘහයෙහි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
1530. “විධුර පඬිහුගේ ගෘහයෙහි ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබලසේනාවෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
1531. “විධුර පඬිහුගේ නිවාසස්ථානයෙහි රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.