5615. ඉක්බිති නොසැඟවුණු චිත්ත සංකල්පනා ඇති ඒ විධුර පණ්ඩිතතෙම මිත්රයන්ටද, ඇමැතියන්ටද, නෑයන්ටද, සුහද ජනයන්ටද මෙය කීයේය.
5616. “පින්වතුනි, මෙහි එව්. යම්සේ රජකුලයට පැමිණියාවූ පුරුෂතෙම යශසට පැමිණේද එබඳුවූ මා කියන්නාවූ රාජ පරිචර්ය්යාව මාස කීපයෙහි හිඳ අසව්යයි” කීයේය.
5617. “රජ ගෙදරට පැමිණියාවූ අප්රකට ගුණ ඇත්තේ යශස නොම ලබයි. ශූර නොවූ තැනැත්තේද නොලබයි. දුෂ්ප්රාඥ තැනැත්තේද නොලබයි. ප්රමාදවූ තැනැත්තේද, කිසි කලෙක යශස නොලබයි.
5618. “යම් කලෙක මේ සේවකයාගේ ශීලයද හෙවත් ආචාර සම්පත්තියද, ඤාණශක්තියද, පිරිසිදුකමද දැනගණීද, එකල්හි රජතෙම ඔහු කෙරේ විශ්වාස කෙරේ. සැඟවියයුතු රහසද ඔහුට නොසඟවායයි” කීයේය.
5619. “දැඩිකොට ගන්නාලද සමවූ දඬු ඇති මනාව දරණ ලද තරාදිය උස් පහත් නොවන්නාක් මෙන් අණ ලද්දාවූ රාජ සේවකතෙම කම්පා නොවන්නේ නම් හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
5620. “දැඩිව ගන්නා ලද සමවූ දඬු ඇති මනාව දැරූ තරාදිය මෙන් රාජසේවකතෙම සියලු රාජකෘත්යයන් කරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
5621. “නුවණැත්තාවූ යම් රාජසේවකයෙක් දාවල් හෝ ඉදින් රාත්රි හෝ රාජ කෘත්යයන්හි අණ දෙනලද්දේ කම්පා නොවන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
5622. “නුවණැති සේවකතෙම ඉදින් දාවල් හෝ රාත්රියෙහි හෝ රාජකෘත්යයන්හි, සියල්ල සම්පූර්ණකරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
5623. “රජුට මනාව කරණලද, මනාව පිළියෙල කළාවූ යම් මාර්ගයක් වන්නේද, කියන ලද්දාවූද හෙතෙම ඒ මාර්ගයෙන් නොයන්නේද, හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
5624. “යමෙක් රජුගේ කාමභොගයන්ට සමානව කිසි කලෙකත් කාම සම්පත් අනුභව නොකරන්නේද, සෑමතන්හි රජුට පසුවම යන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
5625. “රජුට සමානව වස්ත්රයක් නොහඳින්නේද මල් මාලාවක් නොදරන්නේද, විලෙපනයක් නොගල්වන්නේද, ආකාරයක් හෝ ශබ්දකිරීමක් හෝ රජුට සමානව නොකරන්නේද, අන්යවූම ආකාරයක් කරන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
5626. “රජතෙමේ ඇමැතියන් විසින්ද, ස්ත්රීන් විසින්ද, පිරිවරණලදුව ක්රීඩා කරන්නේද, එකල්හි නුවණැති ඇමැතිතෙම රාජ ස්ත්රීන් කෙරෙහි විශ්වාස බවක් නොකරන්නේය.
5627. “උඩඟු නොවූ නොසැරසෙනසුළුවූ මේරූ නුවණ ඇති සංවරවූ ඉන්ද්රියයන් ඇති මනාව තැන්පත්වූ සිත් ඇති හෙතෙම රජුවෙත පැමිණ වාසය කරන්නේයයි” කීයේය.
5628. “යමෙක් ඒ රජහුගේ ස්ත්රීන් සමග ක්රීඩා නොකරන්නේද, රහසිගතව මන්ත්රණය නොකරන්නේද, ඒ රජහුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරකම්කොට නොගන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
5629. “යමෙක් නිදන්නවුන්ගෙන් බොහෝකොට නිදමියි නොහඟින්නේද, මත්වීම පිණිස සුරාපානය නොකරන්නේද, ඒ රජහුගේ අභය ස්ථානයෙහි මුවන් නො නසන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
5630. “යමෙක් ඒ රජහුගේ පුටුවකට නොනගින්නේද, ඇඳකට නොනගින්නේද, බඳවෙළුවකට නොනගින්නේද, ඇතෙකුටද, රථයකටද මම සම්මත කරණ ලද්දේ වෙමියි, නොනගින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.