5602. “එව දැන් යන්නෙමු. ඔබ ස්වාමියා විසින් මට දෙන ලද්දේ වෙහි. මාගේම වැඩට එළිපදුව. මේතෙම පුරාතනයන් ගේ ස්වභාව ධර්මයවේයයි’ පූර්ණකතෙම කීයේය.
5603. “මානවකය, නුඹ විසින් මම දිනාගන්නා ලද්දේ වෙමියි දනිමි. මම අපගේ රජහු විසින් තොපට දෙනලද්දේ වෙමි. යම් පමණ කලකින් අපි පුත්රදාරාවන්ට අනුශාසනා කරමුද, එපමණවූ තුන්දවසක් කල් අපගේ ගෙහි වාසය කරමුයි” විධූර පණ්ඩිතතෙම කීයේය.
5604. “ඔබ යමක් කියන්නෙහි නම් ඒ සියල්ල මට එසේ වේවා. තුන් දවසක් ඔබගේ ගෙහි වසමු. පින්වතා අද ගෘහයන්හි කටයුතු කෙරේවා යම්සේ ඔබ ගිය කල්හි පසුව අඹුදරු සමූහයා සුවපත් වන්නේද එපරිද්දෙන් පින්වතා අද අඹුදරුවන්ට අනුශාසනා කෙරේවායි” මානවකතෙම කීයේය.
5605. බොහෝ සම්පත් ඇති යක්ෂතෙම මැනවයි කියා විධුර පණ්ඩිතයන් සමග ගියේය. ආර්ය්ය ශ්රේෂ්ඨවූ යක්ෂතෙම ඇතුන් හා ආජානීය අසුන්ගෙන් ගැවසීගත්තාවූ ඒ අන්තඃපුරයට ඇතුල්වූයේය.
5606. කොඤ්ච නම්වූද මයුර නම්වූද පියකේත නම්වූද ප්රාසාද තුනක් එහි වෙත්. ඒ ප්රාසාද අතුරෙන් ඉතා සිත්කළු ස්වභාව ඇති බොහෝවූ කෑයු තු දෑ ඇති බොහෝ ආහාර පාන ඇත්තාවූ ශක්රයාගේ ශක්රපුරය වැනිවූ තමන් වසන ප්රාසාදයට විධුරතෙම යක්ෂයා කැඳවාගෙණ ගියේය.
5607. දෙව්ලොව දිව්යප්සරාවන් මෙන් මනාව සැරසුනාවූ ස්ත්රීහු ඒ ප්රාසාදයෙහි නටත්. ගායනා කරත්. වරින්වර කැඳවත්.
5608. දහම් රක්නාවූ පණ්ඩිතතෙම යක්ෂයා ස්ත්රීන් හා සමගිකොට ආහාරයෙන්ද පානයෙන්ද එක්කොට හිතවැඩම කල්පනා කරමින් එකල්හි භාර්ය්යාවගේ සමීපයට ඇතුල් වූයේය.
5609. සුවඳ සඳුන් දියෙන් ගල්වන ලද ජාම්බෝනද ස්වර්ණ නිෂ්කයකට බඳු ශරීර ඇති ඒ භාර්ය්යාවට “තඹවන් නෙත්ර ඇති පින්වතිය මෙහි එව. මාගේ වචනය අසව. මාගේ දරුවන් කැඳවවයි” කීයේය.
5610. අනුජ්ජා නම් ඒ භාර්ය්යාතොමෝ ස්වාමිහුගේ වචනය අසා “නිළුපුල් මල් බඳු ස්යාම වර්ණ ඇති දෙවතාවෙනි ආභරණවලින් සැරසුනාවූ මාගේ දරුවන් කැඳවාවයි” තඹවන් නිය ඇති මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.
5611. මහබෝසත්තෙම කම්පානොවෙමින් එහි ආවාවූ ඒ දරුවන් මස්තකයෙහි සිඹ ආමන්ත්රණය කොට “මම මෙහි මේ මානවකයාට රජු විසින් දෙනලද්දේ වෙමියි” යන වාක්යය කීයේය.
5612. “අද මම තමන් සතු සැපයෙන් යුක්තවූයෙම් ඉන් පසු ඔහුට යටත්වූවෙක් වෙමි. හෙතෙම මා හැරගෙණ යම් මගකින් කැමැති නම් ඒ මගින් යයි මම වනාහි තොපට අනුශාසනා කරන්ට ආයේවෙමි. කෙසේ නම් මම ආරක්ෂාවක් නොකොට යන්නෙම්ද?
5613. “ඉදින් තොපගෙන් බොහෝවූ කාම සම්පත් ඇති ජනයන් පාලනය කරන්නාවූ කුරුරට වැසි රජතෙම මින් පෙර කවර නම් පැරණි දෙයක් තෙපි දනිව්ද, පළමු පියතෙම තොපට කිනම් අනුශාසනාවක් කෙළේදැයි අසන්නේ නම් මෙසේ කියව්.
5614. “ඉදින් තොපට රජතෙම තෙපි සියල්ලෝ මා හා සමාන ආසන ඇත්තෝ වව් යයි කී කල්හි මේ රාජ කුලයෙහි කවර නම් මනුෂ්යයෙක් රජහු ඉක්මවා ඉන්නේදැයි ඒ රජුට ඇඳිලිකොට මෙසේ කියව් ‘දේවයන්වහන්ස, මෙසේ නො කියනුමැනව. මෙතෙම අපගේ ප්රවේනි ධර්මය නොවේ. දේවයන් වහන්ස, සිංහ රාජයෙකුට නීච ජාති ඇති හිවලෙක් කෙසේ නම් සම සම අසුන් ඇත්තෙක් වන්නේදැයි’ කියවයි” අවවාද කෙළේය.
ලක්ඛණකණ්ඩං (පෙක්ඛණකණ්ඩං (සී. ක.)) නාම.
5615. ඉක්බිති නොසැඟවුණු චිත්ත සංකල්පනා ඇති ඒ විධුර පණ්ඩිතතෙම මිත්රයන්ටද, ඇමැතියන්ටද, නෑයන්ටද, සුහද ජනයන්ටද මෙය කීයේය.
5616. “පින්වතුනි, මෙහි එව්. යම්සේ රජකුලයට පැමිණියාවූ පුරුෂතෙම යශසට පැමිණේද එබඳුවූ මා කියන්නාවූ රාජ පරිචර්ය්යාව මාස කීපයෙහි හිඳ අසව්යයි” කීයේය.
5617. “රජ ගෙදරට පැමිණියාවූ අප්රකට ගුණ ඇත්තේ යශස නොම ලබයි. ශූර නොවූ තැනැත්තේද නොලබයි. දුෂ්ප්රාඥ තැනැත්තේද නොලබයි. ප්රමාදවූ තැනැත්තේද, කිසි කලෙක යශස නොලබයි.
5618. “යම් කලෙක මේ සේවකයාගේ ශීලයද හෙවත් ආචාර සම්පත්තියද, ඤාණශක්තියද, පිරිසිදුකමද දැනගණීද, එකල්හි රජතෙම ඔහු කෙරේ විශ්වාස කෙරේ. සැඟවියයුතු රහසද ඔහුට නොසඟවායයි” කීයේය.
5619. “දැඩිකොට ගන්නාලද සමවූ දඬු ඇති මනාව දරණ ලද තරාදිය උස් පහත් නොවන්නාක් මෙන් අණ ලද්දාවූ රාජ සේවකතෙම කම්පා නොවන්නේ නම් හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.