5593. “එම්බා විධුර පණ්ඩිතය, ස්වකීය ගෘහයෙහි වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම කෙසේ වන්නේද, සිව්වැදෑරුම් සංග්‍රහය කෙසේ වන්නේද?
5594. “නිදුක් බව කෙසේ වන්නේද? කෙසේ නම් මානවකතෙම සත්‍යවාදී වන්නේද? මෙලොවින් පරලොව ගොස් කෙසේ නම් ශොක නොකෙරේදැයි” රජතෙම ඇසීය.
5595. ඒ ධර්ම සභාවෙහි ඤාණගතියෙන් යුක්තවූ නුසුන් වීර්‍ය්‍ය ඇති මහත් ප්‍රඥාව ඇති අර්ථදැකීම් ඇති සියලු ධර්මයන් දන්නා නුවණ ඇති විධුරපණ්ඩිතතෙම ඒ රජුට මෙය කීයේය.
5596. “මහරජ, සාධාරණ දාරාවන් ඇත්තෙක් නොවන්නේය. මිහිරි දෙය තනිව නොවළඳන්නේය. ලෝකායත නම් විතණ්ඩ ශාස්ත්‍රය සේවනය නොකරන්නේය. මෙය ප්‍රඥාවගේ වැඩීමට හේතු නොවෙයි.
5597. “සිල් ඇත්තේද වතින් යුක්තවූයේද කුශල ධර්මයන්හි ප්‍රමාද නොවූයේද විචක්ෂණවූයේද යටහත් පැවතුම් ඇත්තේද, තද මසුරු නොවූයේද සුරත භාවයෙන් යුක්තවූයේද මිහිරි වචන ඇත්තේද මෘදුවූයේද වන්නේය.
5598. “මිත්‍රයන් සංග්‍රහ කරන්නේද, දානසංවිභාග කිරීම ඇත්තේද, සියලු කටයුතුවල විධාන කිරීම ඇත්තේද, හැම කල්හි ආහාරපානයෙන් මහණ බමුණන් සතුටු කරන්නේද,
5599. “දහම් කැමැතිවූයේ ශ්‍රැතයට ආධාරවූයේ මහණ බමුණන්ගෙන් පිළිවිසීම ස්වභාවකොට ඇත්තෙක් වන්නේය. සිල්වතුන්ද බොහෝ උගතුන්ද සකස්කොට ඇසුරු කරන්නේය.
5600. “ස්වකීය ගෘහයෙහි ගෘහවාසයෙන් වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම මෙසේ වන්නේය. සංග්‍රහයද මෙසේ වන්නේය.
5601. නිදුක් බව ඇත්තේද මෙසේම වන්නේය. මෙසේ පිළිපන්නාවූ මානවකතෙම සත්‍යවාදීද වන්නේය. මෙලොවින් පරලොවට ගොස් මෙසේ පරලොවදී ශොක නොකෙරේ යයි” විධුර පණ්ඩිතතෙම කීයේය.
ඝරාවාසපඤ්හා නාම.
5602. “එව දැන් යන්නෙමු. ඔබ ස්වාමියා විසින් මට දෙන ලද්දේ වෙහි. මාගේම වැඩට එළිපදුව. මේතෙම පුරාතනයන් ගේ ස්වභාව ධර්මයවේයයි’ පූර්ණකතෙම කීයේය.
5603. “මානවකය, නුඹ විසින් මම දිනාගන්නා ලද්දේ වෙමියි දනිමි. මම අපගේ රජහු විසින් තොපට දෙනලද්දේ වෙමි. යම් පමණ කලකින් අපි පුත්‍රදාරාවන්ට අනුශාසනා කරමුද, එපමණවූ තුන්දවසක් කල් අපගේ ගෙහි වාසය කරමුයි” විධූර පණ්ඩිතතෙම කීයේය.
5604. “ඔබ යමක් කියන්නෙහි නම් ඒ සියල්ල මට එසේ වේවා. තුන් දවසක් ඔබගේ ගෙහි වසමු. පින්වතා අද ගෘහයන්හි කටයුතු කෙරේවා යම්සේ ඔබ ගිය කල්හි පසුව අඹුදරු සමූහයා සුවපත් වන්නේද එපරිද්දෙන් පින්වතා අද අඹුදරුවන්ට අනුශාසනා කෙරේවායි” මානවකතෙම කීයේය.
5605. බොහෝ සම්පත් ඇති යක්ෂතෙම මැනවයි කියා විධුර පණ්ඩිතයන් සමග ගියේය. ආර්‍ය්‍ය ශ්‍රේෂ්ඨවූ යක්ෂතෙම ඇතුන් හා ආජානීය අසුන්ගෙන් ගැවසීගත්තාවූ ඒ අන්තඃපුරයට ඇතුල්වූයේය.
5606. කොඤ්ච නම්වූද මයුර නම්වූද පියකේත නම්වූද ප්‍රාසාද තුනක් එහි වෙත්. ඒ ප්‍රාසාද අතුරෙන් ඉතා සිත්කළු ස්වභාව ඇති බොහෝවූ කෑයු තු දෑ ඇති බොහෝ ආහාර පාන ඇත්තාවූ ශක්‍රයාගේ ශක්‍රපුරය වැනිවූ තමන් වසන ප්‍රාසාදයට විධුරතෙම යක්ෂයා කැඳවාගෙණ ගියේය.
5607. දෙව්ලොව දිව්‍යප්සරාවන් මෙන් මනාව සැරසුනාවූ ස්ත්‍රීහු ඒ ප්‍රාසාදයෙහි නටත්. ගායනා කරත්. වරින්වර කැඳවත්.
5608. දහම් රක්නාවූ පණ්ඩිතතෙම යක්ෂයා ස්ත්‍රීන් හා සමගිකොට ආහාරයෙන්ද පානයෙන්ද එක්කොට හිතවැඩම කල්පනා කරමින් එකල්හි භාර්‍ය්‍යාවගේ සමීපයට ඇතුල් වූයේය.
5609. සුවඳ සඳුන් දියෙන් ගල්වන ලද ජාම්බෝනද ස්වර්ණ නිෂ්කයකට බඳු ශරීර ඇති ඒ භාර්‍ය්‍යාවට “තඹවන් නෙත්‍ර ඇති පින්වතිය මෙහි එව. මාගේ වචනය අසව. මාගේ දරුවන් කැඳවවයි” කීයේය.
5610. අනුජ්ජා නම් ඒ භාර්‍ය්‍යාතොමෝ ස්වාමිහුගේ වචනය අසා “නිළුපුල් මල් බඳු ස්‍යාම වර්ණ ඇති දෙවතාවෙනි ආභරණවලින් සැරසුනාවූ මාගේ දරුවන් කැඳවාවයි” තඹවන් නිය ඇති මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.