5578. “මහරජ, සූදු ශාලාවෙහි කටයුතු නිමවන ලදී. මෙබඳු මාණික්ය රත්නයක් ඔබට නැත. පසැටින් ක්රීඩා කරණ තැනට එළඹුන මැනව. ක්රීඩාකරන්නාවූද අපි සැහැසිකමින් නොව දැහැමින්ම දිනන්නෙමු දිනන ලද්දේද අපට වහා ධනය දුන මැනවයි” පූර්ණකයා රජුට කීයේය.
5579. “පඤ්චාල රජුද ප්රසිද්ධවූ ශූරසේන නම් රජුද මච්ඡ නම් රටෙහි රජු ද කේතක ජනපදවාසී රජුන් හා මදුරට රජුද යන ඒ රජවරු කෛරාටික නොවීමෙන් අපගේ මේ දක්ෂ යුද්ධය බලත්වා. මේ සභාවෙහි කිසිවෙකුට කිසිවෙක් සාක්ෂි නොකරන්නේ නොවේ හෙවත් අප්රමාද වව්යයි” යක් සෙනෙවිතෙම ඒ රජුන් සාක්ෂිකරුවන් කෙළේය.
5580. කුරුරට වැස්සන්ගේ රජ තෙමේද පූර්ණක නම් යක්ෂ තෙමේද යන අක්ෂ මදයෙන් මත්වූ ඔව්හු සූදු ශාලාවට ඇතුල්වූහ. රජතෙම සොයමින් පරාජයවන අය ගත්තේය. පූර්ණක නම් යක්ෂතෙම දිනන අය ගත්තේය.
5581. ඔවුන් ඒ සුදු ශාලාවෙහි දූ කෙළියට පැමිණි කල්හි ඒ දෙදෙන දූ කෙළියහ. රජුන් සමීපයෙහිද යහළුවන්ගේ මද්ධ්යයෙහිද ඒ යක්ෂතෙම නරවර ශ්රේෂ්ඨවූ රජහු පරදවා ජයගත්තේය. ඒ සූදුවෙහි මා විසින් දිනන ලදැයි මහත්වූ ශබ්දයෙක් වූයේය.
5582. “මහරජතුමනි, ජයද පරාජයද ව්යායාම් කරන්නවුන්ගෙන් එක්තරා එකෙකුම වේ. ජනාධිපතිතුමනි, ඔබ වහන්සේ උතුම්වූ ධනයෙන් පිරිහුනේ වෙහි. මා විසින් දිනන ලද්දේද වේ. වහා මට දිනුම දෙවයි” පූර්ණකතෙම කීයේය.
5583. “එම්බා කාත්යායනය, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්ය කුණ්ඩලාභරණද යන මාගේ යම්කිසි රත්න සමූහයක් මේ පෘථිවියෙහි ඇද්ද, ධනයන්ගෙන් උතුම්වූ ඒ වස්තුව හැරගණුව. ඒ වස්තුව හැරගෙණ යම් දිශාවකින් යනු කැමැත්තෙහි නම් ඒ දිශාවෙන් යවයි” රජතෙම කීයේය.
5584. “මහරජ, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්ය කුණ්ඩලාභරණද යන මේ පොළොවෙහි ඔබගේ යම්කිසි රත්න සමූහයක් ඇද්ද ඔවුන් අතුරෙන් විධුර නම්වූ ඇමති තෙම උතුම්වේ. හෙතෙම මා විසින් දිනන ලදී. ඔහු මට දෙවයි” පූර්ණකතෙම කීයේය.
5585. “එම්බා මානවකය, හෙතෙම මාගේ ආත්මයද සරණද ගතියද පිහිටද සැඟවෙන තැනද උතුම් ප්රතිෂ්ඨාවද වේ. හෙතෙම මාගේ වස්තුව හා සමාන කළ නොහැක්කේය. මේ විධුර පණ්ඩිතතෙම මාගේ ප්රාණය හා සමවේයයි” රජ තෙම කීයේය.
5586. “මහරජ, මාගේද ඔබගේද විවාදය බොහෝකලක් ඇතිවන්නේය. එබැවින් ඒකාන්තයෙන්ම ඔහු වෙතටම ගොස් විචාරමු. මෙතෙමේම මේ කාරණය අපට ප්රකාශ කෙරේවා. හෙතෙම යමක් කියාද අප දෙදෙනාගේ කථාව එපමණ වේවායි” පූර්ණකයා කීයේය.
5587. “එම්බා මානවකය, ඒකාන්තයෙන්ම නුඹ සැබවක් කියන්නෙහිය. සාහසික වචනයක්ද නොකියන්නෙහිය. ඔහු වෙතම ගොස් විචාරමු. ඔහුගේ ප්රකාශයෙන් අපි දෙදෙනා සතුටු වන්නෙමුයි” රජතෙම කීයේය.
5588. “කුරු රටෙහි ධර්මයෙහි පිහිටියාවූ විධුර නම් අමාත්යයෙක් වේයයි දෙවියෝ ප්රකාශ කරත්. ඒ සැබවක්ද, ඔබ රජහුගේ දාසයෙක් වෙහිද නොහොත් නෑයෙක් වෙහිද, ලෝකයෙහි විධුරය යන නාමය කවරක් වීදැයි” පූර්ණකයා ඇසීය.
5589. “සමහර කෙනෙක් දාසියගේ කුසෙහි දාසයෙකුට දාව උපන් දාසයෝද වෙත්. සමහරු වස්තුවදී මිලයට ගන්නා ලද්දාහුද දාසයෝ වෙත්. සමහරු තුමූම දාස බවට පැමිණියාහුද වෙත්. සමහරු රාජ භය ආදියෙන් තමාගේ වසඟයට පැමිණියාහුද දාසයෝ වෙත්. මිනිසුන් අතර මේ දාසයෝ සතර කොටසක් වෙත්.