5537. “දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජ නුඹ වහන්සේ මාගේ මේ මාණික්‍ය රත්නයද බලනු මැනව. මේ මාණික්‍ය රත්නයෙහි අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්‍රීන්ගේ ශරීරද පුරුෂයන්ගේ ශරීරද, පෙනෙත්.
5538. “මේ මාණික්‍ය රත්නයෙහි මුවන්ගේ ශරීරද පක්ෂීන්ගේ ශරීරද පෙනෙත්. නාරජුන්ද ගුරුලන්ද මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.
5539. “තවද හස්ති සේනාය රථසේනාය, අශ්වසේනාය ධජවලින් යුත් පාබල සේනාවද යන මේ සිව්රඟ සෙනග මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.
5540. “ඇතරුවන්ද සේනාවෙහි සිටියවුන්ද රථවල සිටියවුන්ද, පාබල සේනාවෙහි වූවන්ද යන රැස්වූ සේනා සමූහයන් මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය
5541. “වස්තුවෙන් යුක්තවූ බොහෝ ප්‍රාකාර හා තොරන් ඇති සතරමං සන්ධි ආදියෙහිවූ සිත්කළු භූමිවලින් යුක්තවූ නගරය මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.
5542. “ඉන්ද්‍රඛීලද දිය අගල්ද කණයමද අගුළු ඇති දොරවල්ද අටළුද දොරටුද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය
5543. “ඒ තොරන් අග හංසයෝද කොස්වාලිහිණද මොණරුද සක්වාලිහිණිද කබරුස්සෝද වෙත්. බොහෝ නොයෙක් පක්ෂි සමූහ ඇත්තාහ, ඔවුන් බලාවා.
5544. කොව්ලෝද බොහෝ විසිතුරුවූ පියාපත් ඇති කොව්ලෝද මොණරුද ජීවන් ජීවක පක්ෂීහුද වෙත්. නොයෙක් පක්ෂි සමූහයාගෙන් ගැවැසී ගත්තක් කොට මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය.
5545. මනා ප්‍රාකාර ඇති අද්භූතවූ ලොමුඩැහැගන්නාවූ ඔසවනලද ධජ ඇති සිත්කළුවූ රුවන්වැලි අතුරණ ලද්දාවූ නගරය බලව.
5546. “එහි කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාවූ ආපන ශාලාවන්ද ගෘහයන්ද ගෘහවස්තූන්ද විනිවිද නොගිය විථීන්ද විනිවිද ගිය වීථින්ද නුඹ වහන්සේ බලනු මැනව.
5547. “එහි සුරාපාන ශාලාවන්ද සුරා සොඬුන්ද අංගානිද මුළුතැන් ගෙවල්ද වෙෂ්‍යා ස්ත්‍රීන්ද ගණිකාවන්ද යන මේ සියල්ල මාණික්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්චර්‍ය්‍යය බලව.
5548. “මාලාකාරයන්ද රජකයන්ද සුවඳ විලවුන් විකුණන්නන්ද තවද වස්ත්‍ර විකුණන්නන්ද රන්කරුවන්ද මැණික් කරුවන්ද යන සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනව.
5549. “සූප කාරයන්ද අරක්කැමියන්ද නෘත්‍ය කරන්නවුන් හා නෘත්‍යයෙහි ගායනා කරන්නවුන්ද, අත්තල ගසන්නවුන් කල පිඹින්නන්ද යන මේ සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.
5550. “බෙරද මිහිඟු බෙරද සක්ද පනාබෙරද ගැටබෙරද ඇත්තාහ. එය බැලුව මැනව, සියලුම තූර්‍ය්‍ය විශේෂද මේ මැණිකෙහි නිර්මිතව පෙණෙන ආකාරය බැලුව මැනව.
5551. “මෙහි කුළුතාලම්ද වීණාද නැටීම් ගී කීම්ද මනා තූර්‍ය්‍යවාදනයද වේ වාදනය කිරීමෙන් ඝෝෂා කරණ ලද තූර්‍ය්‍යභාණ්ඩද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැළුව මැනව,
5552. “මෙහි කරණම් පනින්නෝද මුෂ්ටි යුද්ධ කරන්නෝද ඉන්ද්‍රජාලිකයෝද නුවර හොබවන්නෝද ඇත්තාහ. ඔවුන් බැලුව මැනව. වන්දිභට්ටයන්ද කරනැවෑමියන්ද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බැලුව මැනවැයි” කීයේය.
5553. “මෙහි ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසීගත්තාවූ මැසි පිට මැසි බඳින ලද භූමි ඇති නෘත්‍යස්ථානද වෙත්. එය මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
5554. “මල්ලව පොර අල්ලන නෘත්‍යස්ථානයෙහි දෙගුණ කොට අත්පොළසන් දෙන්නවුන්ද ජයගෙණ සිටියවුන්ද පැරදුනවුන්ද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
5555. “මෙහි පර්වතයෙහි පාදයන්හිවූ බොහෝවූ නොයෙක් මෘග සමූහයෝ වෙත්. ඔවුන් බැලුව මැනව, සිංහයෝද ව්‍යාඝ්‍රයෝද ඌරෝද වලස්සුද කොක්නාවෝද කළුහිස් වලස්සුද ඇත්තාහ.
5556. “කඟවේන්නුද ගවරුද මීමෝද රෝහිත මුවෝද රූරුනම් මුවෝද ඒනිමුවෝද වරාහ මෘගයෝද ගෝන්නුද මෘග සූකරයෝද මෙහි ඇත්තාහ.
5557. “තවද කෙසෙල් මුවෝද බොහෝ විසිතුරු මෘගයෝද වල් බළල්ලුද සාවෝද මීමින්නෝද යන මේ නොයෙක් මෘග සමූහයාගෙන් ගැවසීගත් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
5558. “මෙහි මනා තොටුපල ඇත්තාවූ රන්වැලි අතුරණ ලද්දාවූ ජලයෙහි මත්ස්‍ය සමූහයන් විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ගංගාවෝ ප්‍රසන්න ගලා බසිත්.
5559. “තවද එහි කිඹුල්ලුද මෝරුද පැටි කිඹුල්ලුද කැස්බෝද පෙටියෝද ලුල් මස්සුද වලපොත්තෝද මුද්දුද රේ මස්සුද යන මොහු ඇත්තාහ. ඔවුන් බැළුව මැනවැයි” කීයේය.