“යම්කිසිවෙක් කිපිය යුතු පුද්ගලයෙකු කෙරෙහි කෝප නොකෙරේද, සත්පුරුෂවූ හෙතෙම කිසිකලෙකත් ක්‍රෝධ නොකෙරේද, කිපියාවූද යමෙක් කෝපය පහළ නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයායයි කියත්යයි” වරුණ නම් නාරජ කීයේය.
“ඌණවූ උදර ඇති හෙවත් බඩසය ඇති යමෙක් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තවූයේ තපසින් යුක්තවූයේ පමණ දැන ආහාර පාන වැළඳීම ඇත්තේ කුසගින්න ඉවසාද, ආහාර හේතුවෙන් පාපකර්මයක් නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි ශ්‍රමණයාය කියත්යයි” සුපර්ණරාජයා කීයේය.
“යමෙක් කායික වාචසිකවූ ක්‍රීඩාද දිව්‍යවූ කම්සැපයෙහි ඇලීමද යන සියල්ල හැරදමා ලෝකයෙහි ස්වල්ප තරම්වත් බොරුවක් නොකියාද, කය සරසන කරුණුවලින් හා මෛථුන සෙවනයෙන් වැළකුනේ වේද, ඒකාන්තයෙන් ඒ මිනිසා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයාය කියතියි” ශක්‍රතෙම කීයේය.
“තමන් අයත්වූ ලෝභ ඉපදවිය යුතුවූ සියල්ලම ඉදින් යම්කෙනෙක් පිරිසිඳ දැන හැර දමද්ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්තවූ එකඟවූ සිත් ඇති මමත්වය නැත්තාවූ ආහාර හිතවු ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” ධනඤ්ජය රජතෙම කීයේය.
“පඬිතුමනි, කටයුතු කරවන්නාවූ අලාමක ප්‍රඥා ඇත්තාවූ ඔබ විචාරමි. අප විසින් කියන ලද ගාථාවන්හි හටගත්තාවූ විවාදයක් ඇත්තේය. අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳව. අද ඔබ නිසා අප සියල්ලෝ සැක දුරුකර ගනිමුයි” කීවාහුය.
“අර්ථය දැක්මට සමර්ථවූ යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද, ඔව්හු ඒ විවාදය සුදුසු කල්හි නුවණින් සළකා කියත්. මහරජුනි, නොකියන ලද ගාථාවන්ගේ අර්ථය දක්ෂවූවාහු නමුත් කෙසේ නම් නුවණින් පමුණුවන්නාහු දැයි” විධුර පණ්ඩිතතෙම ඇසීය.
“වරුණ නම් නාරජතෙම කෙසේනම් කියාද? වෙණතෙය්‍ය නම් ගුරුළු රජතෙම කෙසේ හෝ කියාද? ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම වනාහි කුමක් කියයිද? කුරුරට වැස්සන්ගේ ශ්‍රේෂ්ඨයාවූ ධනඤ්ජය රජතෙම කෙසේ කියා දැයි” ඇසූහ.
“පඬිතුමනි, නාරජතෙම ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය කියයි. වෙණතෙය්‍ය නම් ගුරුළුතෙම මදවූ ආහාර ඇතිවීම උතුම්ය කියයි. ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම පස්කම් සැපයෙහි ආලය දුරුකිරීම උතුමැයි කියයි. කුරුරට වාසීන්ගේ රාජොත්තමතෙම පලිබොධ නැතිවීම වර්ණනා කෙරේයයි” ඒ රජහු කීහ.
“මහරජවරුනි, මේ සියල්ලම වනාහි කියන ලදහ. මෙහි අයහපත්කොට කියනලද කිසිවක් නැත්තේය. යම් පුද්ගලයෙකු කෙරෙහි මේ සිව්වැදෑරුම් ගුණයෝ ගැල්නැබෙහි මනාව පිහිටියාවූ දැකීමෙන් පිහිටියාහු වෙද්ද, මේ ගුණධර්ම සතරින් යුක්තවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” පණ්ඩිතතෙම කීයේය.
“පණ්ඩිතය, නුඹ ග්‍රෙෂ්ඨයාද වෙහිය, නුඹ අනුත්තරද වෙහිය. නුඹ ධජය රක්නේද ධර්මය දන්නේද මනා ප්‍රඥා ඇත්තේද වෙහිය. තමන්ගේ ප්‍රඥාවෙන් අපගේ ප්‍රශ්නය මනාකොට දැනගෙණ ප්‍රාඥවූ ඔබ අපගේ සැකයන් දුරු කෙළේය. දළ කැටයම් කරන්නෙක් කියතෙන් ඇත් දත යම්සේ කපන්නේද එමෙන් අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳ දැම්මේයයි” ස්තුති කළාහුය.
“ප්‍රාඥවූ පණ්ඩිතය, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම නිළුපුල් බඳු පැහැ ඇති නිර්මලවූ අනර්ඝවූ දුමට බඳු වර්ණ ඇති මේ වස්ත්‍රය ධර්ම පූජා වශයෙන් ඔබට දෙමි” ශක්‍රතෙම කීයේය.
“පණ්ඩිතතුමනි, ප්‍රශ්නය විසඳීමෙන් සතුටුවූ මම පිපියාවූ පද්මයක් බඳුවූ කෙශර සහිතවූ රුවන් දහසකින් හෙබියාවූ රන් මාලයක් දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” ගුරුළු රජතෙම කීයේය.
“පඬිතුමනි, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම මාගේ බොටුවෙහි පැළඳි මැණික් වලින් හෙබියාවූ පැහැවිහිදෙන්නාවූ සිත්කළුවූ අනර්ඝවූ මේ මැණික දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” නාරජතෙම කීයේය.
“ගවයන් දහසක්ද වෘෂයෙකුද හස්තියෙකුද ආජානීය අසුන් යෙදුවාවූ මේ රථ දහසක්ද ගම්වර සොළසක්ද ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම ඔබට දෙමියි” ධනඤ්ජය නම් රජතෙම කීයේය.
“එම්බා විමලාවෙනි, තී පඬුවන්වූ කෘෂවූ දුර්වලවූ ශරීර ඇත්තී වෙහිය. තීගේ රූපවර්ණය පෙර මෙබඳු නොවෙයි. මාවිසින් විචාරණ ලද්දී තිට කෙබඳු ශරීර වේදනාවක් ඇද්දැයි කියවයි” වරුණ නම් නාරජතෙම විමලා නම් බිසොවගෙන් ඇසීය.
“පින්වත් නාරජුනි, මිනිසුන් අතර ස්ත්‍රීන්ගේ දොළ දුකනම් ස්වභාවයක් ඇතැයි කියනු ලැබේ. නා රජුනි, දැහැමින් සෙමෙන් ගෙණන ලද විධුරනම් පඬිහුගේ හදවත පතමියි” කීය.