5206. “සුභගය, ලෝකයෙහි යාගයෝද වේදයෝද ලාමක නොවෙත්. ලාමකවූ බ්‍රාහ්මණයන් විසින් යොදන ලද්දාහු වෙත්. එබැවින් ඒ නොගැරහිය යුතු බමුණාට නින්දා කරණ තැනැත්තේ වස්තුවද සත්පුරුෂ ධර්මයද දුරු කෙරේයයි” දොරටුව සමීපයෙහි සිටි කානාරිෂ්ටතෙම කීයේය.
5207. “ආර්‍ය්‍යවූ බ්‍රාහ්මණයෝවේද හැදෑරීමටද ක්ෂත්‍රීයයෝ පෘථිවි පාලනයටද වෛශ්‍යයෝ සී සෑමටද ශුද්‍රයෝ මෙහෙවර කිරීමටද පැමිණෙත් වායි මහා බ්‍රහ්මයා කීයේය. එසේ පැමිණෙන්නාවූ වෙන වෙනම තමන්ගේ කුල ප්‍රදේශයට සුදුසු පරිද්දෙන් පැමිණියාහුය. මෙසේ වනාහි ඒ මහා බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුයයි කියත්යයිද” කීයේය.
5208. “ධාතෘය විධාතෘය වරුණය කුවේරය සෝමය යම්ය චන්දිමාය වායුය සූරියය යන මේ දෙව් රජවරු වනාහි අනේකප්‍රකාරයෙන් යාග කොට තවද බමුණන්ට සියලු කැමති සම්පත් දී මෙකී තනතුරුවලට පැමිණියාහුය.
5209. “අදනාලද දුනු පන්සියයක් පමණවූ මහ දුන්න ඇති බලවත්වූ බිහිසුනු සේනා ඇති දහසක් අත්වලින් ඇද ලිය හැකි දුනුදිය අදනා හෙයින් සහස්සබාහු නම්වූ පෘථිවියෙහි අසමාන යම් අර්ජුන නම්වූ රජෙක්වීද, ඒ රජතෙමේද එකල්හි ගිනිදෙවියා පිදීයයි” කීයේය.
5210. “යම් බරණැස් රජෙක් ආහාරයෙන්ද පානයෙන්ද ශක්ති පරිද්දෙන් බොහෝ කලක් මුළුල්ලෙහි පහන් සිත් ඇත්තේ සතුටුවෙමින් බමුණන් වැළඳවීද සුභගය හෙතෙම එක්තරා මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් වූයේයයි” අරිෂ්ටතෙම කීයේය.
5211. “යම් රජෙක් මහත්වූ ආහාර ඇති අලාමකවූ ප්‍රභා ඇති ගිනිදෙවියා ගිතෙලින් සතුටු කරන්ට හැකිවීද, ඒ මුචලින්ද නම් රජතෙම උතුම්වූ ගිනිදෙවියාට යාග විධි පවත්වා දිව්‍ය ගතියට පැමිණියේයයි” ද කීයේය.
5212. “මහත් ආනුභාව ඇත්තාවූ අවුරුදු දහසක් ජීවත් වූ දැකුම් කටයුතුවූ උදාරවූ යම් රජෙක් අප්‍රමානවූ රථ සේනාව හැරදමා පැවිදිවූයේ ද දුදීප නම් ඒ රජතෙමේද දෙව් ලොවට ගියේයයි” කීයේය.
5213. “යම් සාගර නම් රජෙක් සයුර හිම්කොට ඇති පෘථිවිය ජයගෙණ යහපත්වූ ස්වර්ණමයවූ මහත්වූ යාගස්ථම්භයක් එසවීද, සුභගය, ගිනිදෙවියා පුදමින් ඒ රජතෙමේද එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වූයේය.
5214. “එම්බා සුභගය, යම් රජෙකුගේ ආනුභාවයෙන් ගංගාවෝ පැවැත්තාහුද, දීමක්වූ තැන සමුද්‍රය හටගත්තේද, පාදයෙහි ලොම් ඇත්තාවූ ඒ අඟු රජතෙම ගිනිදෙවියා පුදා ශක්‍ර පුරයට පැමිණියේයයි” කීයේය.
5215. “එම්බා සුභගය, යමෙක් දැන් දෙව්ලොව සක්දෙව් රජහුගේ සේනාපතිවූ මහත් ඍද්ධි ඇත්තාවූ යශ පිරිවර ඇත්තාවූ උතුම් දෙවියෙක්වීද, හෙතෙමේද පෙර සෝම යාගයෙන් පව් සෝදා හැර එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වූයේ යයි” කීයේය.
5216. “සහෝදර සුභගය, යම් ඍද්ධි ඇත්තාවූ යශස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක්තෙම මේ ලෝකයද පරලෝකයද භාගිරතී නම් ගංගාවද හිමවත් පර්වතයද ගිජ්ඣ පර්වතයද යන මේ සියල්ල කෙළේද, හෙතෙමේද එකල්හි ගිනිදෙවියා පිදූයේය.
5217. “මාලාගිරි පර්වතයද, හිමවත් පර්වතයද ගිජ්ඣ නම් යම් පර්වතයක් වේද, සුදස්සන නම් පර්වතයද නිසභ නම් පර්වතයද කාකනේරු නම් පර්වතයද යන මොව්හුද සෙසු මහත් වූ පර්වතද යාග කරන්නාවූ බමුණන් විසින් ගඩොලින් බඳන ලද ආසන පිණිස කරණලද්දාහු වෙත්යයි” කීයේය.
5218. “වේද හදාරන්නාවූ වේද මන්ත්‍ර කොටස්වලින් යුක්තවූ තපස් ඇත්තාවූ බ්‍රාහ්මණයා ඉල්වීමට සුදුස්සෙකැයිද කීයේය. මුහුදු ඉවුරෙහි දිය නාන්නාවූ එබඳු බ්‍රාහ්මණයෙකු සාගරයතෙම ඇදගත්තේය. එහෙයින් සමුද්‍රය පානය කළ නොහැකි ලුනුදිය ඇත්තෙක් කෙළේය.