7. මහානාරද කස්සප ජාතකය
5283. බොහෝවූ හස්ති වාහණාදිය ඇති ධන ඇත්තාවූ අප්රමාණ භට සෙනග ඇති විදෙහ රටවැස්සන්ගේ අංගාති නම් ක්ෂත්රීය රජෙක් වූයේය.
5284. ඒ රජ තෙමේද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදු මල් ඇති ඉල්මස පුරපසළොස්වක් රාත්රියෙහි ප්රථම යාමය ඉක්ම නොගිය කල්හි ඇමැතියන් රැස් කරවීය.
5285. පණ්ඩිතවූ උගත්කම් ඇත්තාවූ පළමු සිනාසී කථාකරණ සුළුවූ දක්ෂවූ විජයද සුණාමද අලාතකද යන සේනාපතින් තිදෙනෙක් වූහ.
5286. ඒ වේදෙහ රජතෙම, “අද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදුමල් ඇති පසළොස්වක් දිනයවේ. උදාවූ චන්ද්රයාද ඇත්තේය. අන්ධකාරයද දුරුව ගියේය. අද අපි මෙබඳුවූ රාත්රි කාලය කවරනම් ඇල්මකින් යුක්තව වාසය කරමුදැයි තමන්ගේ කැමැත්ත වෙන් වෙන් වශයෙන් කියව්යයි” ඒ ඇමතියන් විචාළේය.
5287. ඉක්බිති ඒ රජුගේ අලාත නම් සෙනෙවිතෙම මේ කීයේය. සතුට ඇත්තාවූ වාහණද භට පිරිසද යන සියලු සෙනග රැස්කරමු.
5288. දේවයන්වහන්ස, අප්රමාණ බලසෙනග ඇති අපි යුද්ධයට පිටත්ව යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟයට නොපැමිණෙත් නම් ඔවුන් වසඟයට පමුණුවන්නෙමු. අප විසින් නොදිනනලද යමෙක් ඇත්නම් ඔහු දිනන්නෙමු මේ මාගේ අදහස වේයයි” කීයේය.
5289. අලාත නම් සෙනෙවියාගේ කීම අසා සුනාම නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මහරජ, ඔබගේ සියලු පස මිතුරෝ වසඟවූහ.
5290. බහා තබනලද ශස්ත්ර ඇති සතුරෝ අවිරුද්ධව පවතිත්. අද උතුම්වූ උත්සව දිනයක්වේ. එහෙයින් මට යුද්ධය රුචි නොවේ.
5291. ආහාරද, පානවර්ගද, කෑයුතුදෑද ඔබවහන්සේට වහා එළවත්වා. මහාව වාදනය කරණලද නෘත්ය ගීතයන්ද එළවත්වා. දේවයන්වහන්ස, නුඹවහන්සේ පස්කම් සැපවලින් සිත් අලවනු මැනවයි” කීයේය.
5292. සුනාම නම් සෙනෙවියාගේ මේ කීම අසා විජය නම් සෙනෙවිතෙම මේ කීයේය. “මහරජ, සියලු කාම සම්පත්තීහු ඔබවහන්සේට නිතර එළඹ සිටියාහුය.
5293. දේවයන් වහන්ස, කම්සැපවලින් සතුටු වීමය යන මොව්හු නුඹවහන්සේට දුර්ලභ නොවෙත්. හැමකල්හිම කම් සැප ලැබෙත්. එබැවින් මෙය මාගේ සිතට අභිමත නොවේ.
5294. අද අර්ථය හා ධර්මය දන්නාවූ යම් ඍෂීවරයෙක් අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්රැතවූ ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු වෙත එළඹෙන්නෙමුයි” කීයේය.
5295. විජය නම් සෙනෙවිහුගේ කීම අසා අංගාති රජ තෙම මෙසේ කීයේය. ‘විජයතෙම යම්සේ කීයේද මටත් මෙයම රුචිවේ.
5296. අර්ථයන් හා ධර්මයන් දන්නාවූ යම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්රැතවූ ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ වෙත එළඹෙමුයි’ කීයේය.
5297. අර්ථයන් හා ධර්මයන් දන්නාවූ කවර නම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද? අපි කවරනම් පණ්ඩිතයෙකු කරා එළඹෙමුදැයි මෙහි ඉන්නාවූ තෙපි සියලු දෙනාම කල්පනා කරව්.”
5298. වෙදේහ නම් රජුගේ වචනය අසා අලාත නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මෘගදායනම් උයනෙහි පණ්ඩිත යයි සම්මතවූ මේ අචේලකයෙක් ඇත්තේය.