5194. “පව් සෝදා හැරීමට සුදුසුයයි ලෝකයා විසින් සම්මත කරණ ලද්දාවූ ප්රයාග නම් තීර්ථයෙහි පිහිටියාවූ මෙබඳු ජලය ස්නානය කරන්නාවූ මා කවර නම් භූතයෙක් යමුනා නම් ගඟෙහි ගිල්වමින් ඇද ගත්තේදැයි” වැදි බමුණා ඇසීය.
5195. “ලොවට අධිපතිවූ යශ පිරිවර ඇත්තාවූ යම් මේ ධ්‍රතරාෂ්ට නම් නාරජෙක් හාත්පසින් බරණැස් නුවර වටකොට මත්තෙහි පෙණයෙන් වසාගත්තේද, මම ඒ නාග රාජයාගේ පුත්‍ර වෙමි. බමුණ මා සුභගයයි දනිත්යයි” කීයේය.
5196. “ඉදින් වනාහි ඔබ දීර්ඝායුෂ ඇතිබැවින් අමර නම් නාගයින්ට අධිපතීවු කංශනම් ධ්‍රතරාෂ්ට නාගරජහුගේ පුත්‍ර වෙහි නම් ඔබගේ පියතෙම එක්තරා මහේශාක්‍ය වූ නාරජෙක. ඔබගේ මව වනාහි මිනිසුන් අතර අසමාන තැනැත්තියක. එබඳු මහත් ආනුභාව ඇත්තේ බ්‍රාහ්මණයෙකුගේ දාසයෙකු වත් දියෙහි ගිල්වන්ට නුසුදුසුයයි” වැදි බමුණා කීයේය.
5197. “එම්බල බමුණ, තෝ ගසක් ඇසුරුකොට සිට ගෙණ දියබොන්ට ආවාවූ මුවෙකු විද්දෙහිය. විදින ලද ඒ මුවා ඊතල වේගයෙන් තැති ගැනුම් ඇත්නේ දුරට ගියේය.
5198. “නුඹ මහ වනයෙහි දුවගොස් වැටුනාවූ ඒ මුවා දුටුවෙහිය. ඒ නුඹ මුවමස් කද අරගෙණ සවස නුග ගසක් ලඟට පැමිණියේය.
5199. “ගිරා සැළලිහිණියන් විසින් පවත්වන ලද නාද ඇති පැසුනු ගෙඩිවලින් පිඟුවන්වූ ඇටුවන් වලින් ගැවසී ගත්තාවූ නුගගස ඇති ඒ භූමිය කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති සිත්කළුවූ නිතර නිල්වන් තෘණයෙන් ගැවසී ගත්තෙක් විය.
5200. “ඒ නුග ගසෙහි සිටියාවූ තට ඍද්ධියෙන් හා යශසින් දිළිසෙන්නාවූ මහත් ආනුභාව ඇත්තාවූ නාග කන්‍යාවන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ මාගේ සහෝදරතෙම පෙනුනේය.
5201. “ඒ නුඹ මාගේ සහෝදරවූ භූරිදත්ත නම් ඒ නා රජ විසින් සියලු කැමති සම්පත් වලින් සතුටු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ වෙහිය. නුඹ ද්‍රෝහ නොකටයුතුවූ ඔහුට ද්‍රෝහ කෙළෙහිය. තාගේ ඒ පාප කර්මය දැන් මෙහි පැමිණියේය.
5202. “වහා බෙල්ල දිගහරුව. තාගේ ජීවිතය නොදෙන්නෙමි. සහෝදරයාට කළාවූ අපරාධය සිහිකරන්නාවූ මම තාගේ හිස සිඳින්නෙමියි” සුභගතෙම කීයේය.
5203. “බ්‍රාහ්මණතෙම මන්ත්‍ර හදාරන්නේය. ඉල්ලීමට සුදුසුය. පුදනලද ගිනි ඇත්තේද වේ. යන මේ කරුණු තුනින් බ්‍රාහ්මණතෙම වධ නොකටයුතු වේයයි” වැදි බමුණා කීයේය
5204. ධ්‍රතරාෂ්ට නම් නාරජහුගේ යමුනා නම් ගඟ යට භාගයෙහි සියල්ල ස්වර්ණමයවූ යම් නගරයක් යමුනා ගඟ සමීපයෙහි හිමවත් පර්වතය දක්වා බබළාද,
5205. “ඒ නගරයෙහි පුරුෂ ශ්‍රේෂ්ඨවූ සමාන උදාර ඇත්තාවූ ඒ මාගේ සහෝදරයෝ වෙසෙත්. ඔව්හු එහිදී යම්සේ කියද්ද, බ්‍රාහ්මණය, තට එසේ වන්නේයයි” සුභගතෙම කීයේය.
සුභග ඛණ්ඩය.
5206. “සුභගය, ලෝකයෙහි යාගයෝද වේදයෝද ලාමක නොවෙත්. ලාමකවූ බ්‍රාහ්මණයන් විසින් යොදන ලද්දාහු වෙත්. එබැවින් ඒ නොගැරහිය යුතු බමුණාට නින්දා කරණ තැනැත්තේ වස්තුවද සත්පුරුෂ ධර්මයද දුරු කෙරේයයි” දොරටුව සමීපයෙහි සිටි කානාරිෂ්ටතෙම කීයේය.
5207. “ආර්‍ය්‍යවූ බ්රාහ්මණයෝවේද හැදෑරීමටද ක්ෂත්රීයයෝ පෘථිවි පාලනයටද වෛශ්‍යයෝ සී සෑමටද ශුද්‍රයෝ මෙහෙවර කිරීමටද පැමිණෙත් වායි මහා බ්‍රහ්මයා කීයේය. එසේ පැමිණෙන්නාවූ වෙන වෙනම තමන්ගේ කුල ප්‍රදේශයට සුදුසු පරිද්දෙන් පැමිණියාහුය. මෙසේ වනාහි ඒ මහා බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුයයි කියත්යයිද” කීයේය.
5208. “ධාතෘය විධාතෘය වරුණය කුවේරය සෝමය යම්ය චන්දිමාය වායුය සූරියය යන මේ දෙව් රජවරු වනාහි අනේකප්‍රකාරයෙන් යාග කොට තවද බමුණන්ට සියලු කැමති සම්පත් දී මෙකී තනතුරුවලට පැමිණියාහුය.
5209. “අදනාලද දුනු පන්සියයක් පමණවූ මහ දුන්න ඇති බලවත්වූ බිහිසුනු සේනා ඇති දහසක් අත්වලින් ඇද ලිය හැකි දුනුදිය අදනා හෙයින් සහස්සබාහු නම්වූ පෘථිවියෙහි අසමාන යම් අර්ජුන නම්වූ රජෙක්වීද, ඒ රජතෙමේද එකල්හි ගිනිදෙවියා පිදීයයි” කීයේය.
5210. “යම් බරණැස් රජෙක් ආහාරයෙන්ද පානයෙන්ද ශක්ති පරිද්දෙන් බොහෝ කලක් මුළුල්ලෙහි පහන් සිත් ඇත්තේ සතුටුවෙමින් බමුණන් වැළඳවීද සුභගය හෙතෙම එක්තරා මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් වූයේයයි” අරිෂ්ටතෙම කීයේය.
5211. “යම් රජෙක් මහත්වූ ආහාර ඇති අලාමකවූ ප්‍රභා ඇති ගිනිදෙවියා ගිතෙලින් සතුටු කරන්ට හැකිවීද, ඒ මුචලින්ද නම් රජතෙම උතුම්වූ ගිනිදෙවියාට යාග විධි පවත්වා දිව්‍ය ගතියට පැමිණියේයයි” ද කීයේය.