5148. “මෑණියෙනි, සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වන්නාවූ මා දැක ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්න නොවූහ. රන් කැඩපතක්බඳු මුහුණද කාලවර්ණ විය.
5149. “අතින් කඩාගන්නාලද, අත්ලෙන් පිරිමදිනාලද, පියුමක් මෙන් මෙබඳුවූ මා දැක ඔබගේ මුහුණ කළුවූයේ මක්නිසාදැයි” සුදස්සන නම් නාරජ ඇසීය.
5150. “කිමෙක්ද ඔබට කිසිවෙක් හිංසාවක් නොකෙළේද, කිම ඔබට කිසියම් වේදනාවක් ඇද්ද, යම් කාරණයකින් ආවාවූ මා දැක ඔබගේ මුහුණ කළුවීද, ඒකාරණය මට කියවයි” කීයේය.
5151. “පුත්‍රය, මම සිහිනය දුටුවෙමි. මෙයින් සිව්මසක් ඉක්ම ගියේය. මාගේ දකුණු අත කපා ලේ වැගිරෙන්නාක් මෙන් මා හඬමින් සිටි කල්හි පුරුෂයෙක් හැරගෙණ ගියේය.
5152. “එම්බා සුදස්සන නම් පුත්‍රය, යම් කලෙක මම ඒ ස්වප්නය දුටුයෙම්ද, එතැන් සිට දාවල් හෝ රාත්‍රියෙහි හෝ මට සුවයෙක් නම් නොලැබේ යයි දැනගණුවයි” කීය.
5153. “පෙර රන්දැලින් වසනලද මනොඥ ශරීර ඇත්තාවූ නාග කන්‍යාවෝ යමෙකු පිරිවැරුවාහුද ඒ භූරිදත්ත නම් නාරජ දැන් දක්නා නොලැබේ.
5154. “මනාව පිපුනාවූ කිනිහිරි ගස් මෙන් උතුම් කඩු දරන්නාවූ නාග මානවකයෝ පෙර යමෙකු පිරිවැරුවාහුද, ඒ භූරිදත්ත තෙම දැන් දක්නා නොලැබේ.
5155. “එබැවින් දැන් අපි භූරිදත්තගේ ගෙදරට යන්නෙමු. ධර්මයෙහි පිහිටියාවූ සිල්වත්වූ ඔබගේ සහෝදරයා දකිමුයි” මව කීවාය.
5156. එන්නාවූ භූරිදත්ත නාරජුගේ ඒ මවද දැක භූරිදත්ත නාරජුගේ ස්ත්‍රීහු හිස අත්බැඳගෙණ හැඬුවාහුය.
5157. “එම්බා ආර්‍ය්‍යාවෙනි, යශස් ඇත්තාවූ භූරිදත්ත නම් ඔබගේ පුත්‍රයා මළාහුද, නොහොත් ජීවත්වන්නාහුදැයි මෙයින් යට මාසයක් පමණ කල් නොදනිමුයි” කීවාහුය.
5158. “හිස්වූ කැදැල්ල දැක නැසුනාවූ පැටව් ඇති ලිහිණියක මෙන් භූරිදත්ත නොදක්නාවූ මම බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.
5159. “හිස්වූ කැදැල්ල දැක එහා මෙහා දුවන්නාවූ නැසුනු පැටවුන් ඇත්තාවූ ලිහිණියකමෙන් ප්‍රිය පුත්‍රයා නොදක්නී මම ඒ ඒ තැන දුවන්නෙමි.
5160. “හිස්වූ කැදැල්ල දැක නැසුනු පැටවුන් ඇත්තාවූ කබරුසු දේනුවක මෙන් මම භූරිදත්ත නම් පුතු නොදක්නී බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.
5161. “භූරිදත්ත නම් පුත්‍රයා නොදක්නාවූ ඒ මම ඒකාන්තයෙන් දිය නැත්තාවූ කුඩා විලෙක්හි සක්වාලිහිණියක මෙන් බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.