5121. “අභිවෘද්ධිදායකවූ යහපත් වස්තුවක්වූ සිත්කළුවූ ලක්ෂණ ඇති මැණික්ගලක් හැරගෙණ එන්නාවූ නුඹ කොහිදී මේ මැණික්ගල ලැබුවෙහිදැයි” බමුණා ඇසීය.
5122. “අද මම උදෑසනම මහමග යමින් හාත්පස රතුඇස් ඇති නාගකන්‍යාවන් දහසක් විසින් පිරිවරණ ලද මේ මැණික ලැබුවෙමියි” ආලම්බනතෙම කීයේය.
5123. “මනාව බුහුමන් කරණලද, පුදනලද හැමකල්හි ආදරකරණලද මේ මැණික මනාව දරණලද්දේ මනාව බහා තබනලද්දේ සියලු සම්පත් සිද්ධකර දෙන්නේය.
5124. “බහා තැබීමෙහිද, දැරීමෙහිද බුහුමන් ඇත්තහුගේ විනාශයට නුනුවණින් පුරුදුකළ මේ මැණිකම සෑහේ
5125. “උපචාර කිරීමෙහි අදක්ෂයෙක් මේ දිව්‍ය මැණික දරන්ට සුදුසු නොවේ. එබැවින් ස්වර්ණනිෂ්ක සියයක් ගණුව, මේ මාණික්‍යරත්නය මට දෙවයි” බ්‍රාහ්මණයා කීයේය.
5126. “මාගේ මේ මැණික ගවයන්ගෙන් හෝ රත්නයකින් හෝ විකිණිය යුතු නොවේ. සියලු ලක්ෂණයෙන් යුක්තවූ මාගේ මේ මැණික්ගල නොම විකිණිය යුතුයයි” ආලම්බන තෙම කීයේය.
5127. “ඉදින් නුඹ විසින් ගවයන්ගෙන් හෝ කරත්තයකින් හෝ මේ මැණික විකිණියයුතු නොවේ නම්, එසේ ඇතිකල්හි කුමකින් මැණික විකිණිය යුතුදැයි අසන ලද්දේ නුඹ එය මට කියවයි” බමුණා කීයේය.
5128. “යමෙක් තේජස් ඇත්තාවූ කිසිවෙකු විසින් ඉක්මවිය නොහැකි මහත් නාගයෙකු මට කියන්නේ නම් ඔහුට ප්‍රභාවෙන් දිළිසෙන්නාක් බඳුවූ මේ මැණික දෙන්නෙමියි” ආලම්බන කීයේය.
5129. “කිමෙක්ද, නුඹ බ්‍රාහ්මණ වෙශයෙන් ආ පක්ෂීන් ගෙන් උතුම්වූ සුපර්ණයෙක්ද, තමන්ගේ ගොදුරවූ නාගයෙකු අල්වා ගණු කැමැත්තෙන් සොයමින් ඇවිදීයයි සිතමියි” බ්‍රාහ්මණයා කීයේය.
5130. “මම ගුරුලෙක් නොවෙමි. මා විසින් ගුරුලෙක් නොදක්නාලදී. නයි විෂ බස්වන්නාවූ ආලම්බන නම් වෛද්‍යවූ බ්‍රාහ්මණයෙකුයයි, මා දනිත්”යී ආලම්බන කීයේය.
5131. “නුඹගේ කවර නම් බලයක් ඇද්ද, නුඹගේ කිනම් ශිල්පයක් තිබේද, කවර කරුණෙක්හි හෝ තදින් පිහිටියාවූ නුඹ නාගයාට අවමන් කරන්නෙහිදැයි” බ්‍රාහ්මණයා ඇසීය.
5132. වනයෙහි වාසය කරන්නාවූ බොහෝ කල් කරණලද තපස් ඇත්තාවූ කොශිය ගොත්‍ර ඇති ඍෂිහට ගුරුලෙක් උතුම්වූ විෂ බස්වන මන්ත්‍රයක් කීයේය.
5133. “පර්වත අතරෙහි වාසයකරන්නාවූ උන්වහන්සේ වඩනලද සිත්ඇත්තාවූ තාපසයන්ගෙන් එක්තරා කෙනෙකි. රෑ දාවල් අනලස්වූ මම උන්වහන්සේට සකස්කොට උපස්ථාන කෙළෙමි.
5134. “එකල්හි සිල්වත්වූ රකිණලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාවූ මා විසින් බුහුමන් කරණලද්දාවූ ඒ පින්වත් තාපසතෙම සියකැමැත්තෙන්ම මට මේ දිව්‍යවූ මන්ත්‍රය ප්‍රකාශ කෙළේය.
5135. “මම ඒ මන්ත්‍ර ඇසුරුකෙළේ වෙම්. එහෙයින් මම සර්පයන්ට බිය නොවෙමි. විෂබස්වන්නාවූ වෙදුන්ට ආචාර්‍ය්‍යවූ ආලම්බන යයි මා දනිත්යයි” කීයේය.
5136. “පුත සෝමදත්තය, මේ මැණික ගනිමු. නුඹද එය දනුව, කැමැත්තෙන් ලඟට පැමිණියාවූ ශ්‍රී කාන්තාව දණ්ඩකින් ගසා දුරු නොකරමුයි” බ්‍රාහ්මණයා සෝමදත්තට කීයේය.
5137. “එම්බා බ්‍රාහ්මණය, ස්වකීය ගෙදරට පැමිණියාවූ ඔබට ඒ නාරජතෙම පූජා සත්කාර කෙළේය. මෙසේ යහපත කරන්නහුට කුමක්හෙයින් මුළාවෙන් ද්‍රෝහ කිරීමට කැමැත්තෙහිද?”
5138. “ඉදින් වනාහි නුඹ වස්තුව කැමැත්තෙහි නම් භූරිදත්ත නාරජතෙම දෙන්නේය. ඒ නාරජ වෙතටම ගොස් ඉල්වව, ඔබට බොහෝ ධනය දෙන්නේයයි” පුත්‍රවූ සෝමදත්ත කීයේය.