5097. “පූජා පිණිස ගෙණඑනලද මල් ඇති මේ වනය මැද රක්තවර්ණ ඇස් ඇත්තාවූ පුළුල් උරහිස් අතර ඇති ඔබ කවරෙක්ද? ස්වර්ණමය ග්‍රීවාභරණ, හස්තාභරණ දරන්නාවූ මනා හැඳිවස්ත්‍ර ඇති කවරනම් ස්ත්‍රීහු දශදෙනෙක් වඳිමින් සිටිද්ද,
5098. “මහත්වූ බාහු ඇති කවරෙක්වූ ඔබ වනමැද ගිතෙල් ඉසිනලද ගින්නක් මෙන් බබළන්නෙහිද? මහේශාක්‍යවූ එක්තරා යක්ෂයෙක්වෙහිද නොහොත් මහත් ආනුභාව ඇති නාගයෙක් වෙහිදැයි” බමුණා ඇසීය.
5099. “මම මෙහි ඍර්ධි ඇත්තාවූ විෂ තේජස් ඇති අනිකෙකු විසින් ඉක්මවිය නොහැකිවූ නාගයෙක් වෙමි. ඒ මම කිපියේ විෂ තේජසින් සියලු ජනපදයද දෂ්ටකරන්නෙමි.
5100. “සමුද්දජා නම් දේවි වනාහි මාගේ මවය. ධ්‍රතරාෂ්ට නම් නාරජතෙමේද, මාගේ පියාවේ. මම සුදස්සන නම් නා රජුගේ මළනුවෙමි භූරිදත්තයයි නාගභවනයෙහි මා දනිත්යී” නාරජ කීයේය.
5101. “ගැඹුරුවූ හැමකල්හි පැවති දියසුළි ඇත්තාවූ බිහිසුනුවූ යම් ඒ විලක් දක්නෙහිද, නොයෙක් සියගණන් පුරුෂ ප්‍රමාණ ඇත්තාවූ මෙතෙම මාගේ දිව්‍යවූ වාසස්ථානයවේ.
5102. “ඉව්රුදෙක්හි වාසය කරන්නාවූ මොනරුන් විසින්ද, කොස්වාලිහිණියන් විසින්ද, පවත්වනලද නාද ඇත්තාවූ නීලවර්ණ ජලය ඇත්තාවූ ආචාරසම්පන්න වූවන්ගේ වාසස්ථානවූ, ක්ෂෙමභූමියවූ මේ යමුනා නම් ගඟට භය නැතිව ඇතුල්වෙයි” නාරජ කීයේය.
5103. අනුචරයන් සමග එහි පැමිණියේ පුත්‍රයා සහිත බ්‍රාහ්මණයාට පුදනලද්දේ “බ්‍රාහ්මණය, මාසතු කම්සැපවලින් සුවසේ වාසය කරවයි” නාරජ කීයේය.
5104. “පින්වත් නාගරාජය, ඔබගේ භවනයෙහි මේ භූමි තොමෝ හාත්පස සියලු දිශාවන්හි සමතලාවූවා බොහෝ තුවරලා ඇත්තී රන්වන් ඉඳුගොව්වන්ගෙන් ගැවසීගත්ති නිල්වන් කුශතණවලින් යුක්තවූවා බබළයි.
5105. “වනපංතීහු සිත්කළුවෙත්. මනාව නිමවනලද සිත්කළුවූ හංසයන් විසින් පවත්වනලද නාද ඇත්තී පිපී වැටුනාවූ පියුම් පෙතිවලින් ගැවසීගත් පොකුණුද තිබෙත්
5106. “අටැස් ඇතිකොට මනාව කරණලද ටැම් ඇති සියල්ල වෛඩූර්‍ය්‍යමයවූ නාග කන්‍යාවන්ගෙන් පිරුණාවූ දහසක් ටැම් ඇති ප්‍රාසාදයෝ බබළත්.
5107. “තමන්ගේ පිනෙන් පහළවූ සම්බාධ නැත්තාවූ ක්ෂෙමවූ රම්‍යවූ අත්‍යන්ත සැප ඇත්තාවූ මේ දිව්‍යවූ විමානයෙහි උපන්නෙහිය.
5108. “යම්හෙයකින් ඔබගේ මේ සම්පත්තිය ප්‍රභාවත්වූ ශක්‍රයාගේ මෙන් මහත්වේද, එහෙයින් සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදය නොකැමැතිවෙහියයි සිතමි.
5109. “සම්පත්තියෙන් සමෘද්ධවූ සක්දෙව් රජුගේ ආනුභාවයතෙම ශක්‍රයා සහ දෙවියන්ට මෙහෙවර කරන්නාවූ අපගේ සිතිනුදු නොපැමිණියයුතු වේයයි” නාරජ කීයේය.
5110. “සොයනලද සුව ඇත්තාවූ දෙවියන්ගේ ඒ විමානය ප්‍රාර්ථනාකොට පෙහෙවස් වසමින් මම තුඹස මත්තෙහි සයනය කරමියිද” කීයේය.
5111. “පින්වත් නාරජ, මමද මුවන් සොයමින් පුත්‍රයා සමග වනයට පිවිසුනෙමි. ඒ මා මළහු හෝ ජීවත්වන්නහු හෝ අපගේ නෑයෝ නොදනිත්.
5112. “කාශිරාජගේ දුව මගේ පුත්‍රවූ යශ පිරිවර ඇත්තාවූ භූරිදත්ත නම් ඔබට කියා අවසර ගනිමි. ඒ ඔබ විසින් අනුදන්නා ලද්දාවූ අපි ගොස් නෑයන් දකිම්හයි” බමුණා කීයේය.
5113. “මා සමීපයෙහි වසන්නෙහිය යන යමක්වේද, මෙය වනාහි ඒකාන්තයෙන් මාගේ කැමැත්ත වේ. මිනිස්ලොව මෙබඳුවූ කාම සම්පත් නොම සුලභවෙත්.
5114. “ඉදින් මාසතු කම්සැපවලින් පුදනලද්දාවූ ඔබ මෙහි වාසයකරන්ට නොකැමැත්තෙහි නම් මා විසින් අවසර දෙනලද්දාවූ නුඹ සුවසේ ගොස් නෑයන් දකුවයි” නාරජ කීයේය.
5115. “මේ දිව්‍යවූ මැණික දරන්නේ මෙහි ආනුභාවයෙන් ගව සම්පත්ද, දූ දරුවන්ද ලබයි. නිරෝගවූයේ සුව ඇත්තේ වෙයි. බ්‍රාහ්මණය, එබැවින් මේ මැණික භාරගෙණම යවයි” සියලු කැමැති සම්පත් දෙන්නාවූ මැණිකක් දුන්නේය.