5084. “මහරජ, ධ්‍රතරාෂ්ට නම් නාරජුගේ ගෘහයෙහි යම්කිසි රත්නයක් ඇද්ද, ඒ සියල්ල ඔබගේ ගෘහයට පැමිණෙත්වා, අපගේ රජුට සමුද්දජා නම් ඔබගේ දූ කුමරිය දෙනු මැනවයි” නාගයෝ කීහ.
5085. “එම්බා නාගයෙනි, කිසිකලෙකත් නාගයන් හා අපගේ විවාහයෙක් නොකළවිරූය. තිරිසනුන් හා එක්වීම ඇත්තාවූ ඒ විවාහය සුදුසු නොවේ. මනුෂ්‍යවූ අපි එය කෙසේ කරමුදැයි” බරණැස් රජ කීයේය.
5086. “මහරජ, ඔබගේ ජීවිතයද, රටද හැරදමනලදැයි, සිතමි. නාගයන් කිපුනු කල්හි ඔබවැන්නෝ බොහෝ කලක් නොම ජීවත්වෙත්.
5087. “දේවයන් වහන්ස මිනිසුන් අතර ඍර්ධි නැති යම්බඳුවූ ඔබ ඍර්ධි ඇත්තාවූ යමුනා නම් ගංගා යටභාගයෙහි උපන්නාවූ වරුණ නම් නාරජුගේ ස්වකීය පුත්‍රවූ නා රජහු ඉක්මවා හඟින්නෙහිද, එහෙයිනැයි” කීයේය
5088. “යස පිරිවර ඇත්තාවූ ධ්‍රතරාෂ්ටනම් නාරජු ඉක්මවා නොහඟිමි. ධ්‍රතරාෂ්ට නම් නාරජ වනාහි බොහෝවූ නාගයන්ටද අධිපති වේ.
5089. “මහත් ආනුභාව ඇත්තේද, නාරජතෙමේ මාගේ දුවට සුදුසු නොවේ. විදෙහවාසීන්ගේ ක්ෂත්‍රීයවූද සමුද්දජා නම් මාගේ දුව විශිෂ්ට ජාති ඇත්තීවේයයි” රජතෙම කීයේය.
5090. “කම්බලස්සතර නම් නාගයෝ නැගීසිටිත්වා. සියලු නාගයන්ට වහා රැස්වව්යයි දන්වව, සියල්ලෝ බරණැස් නුවරට පැමිණෙත්වා. තොප කිසිකෙනෙක් කිසිවෙකුටත් හිංසා නොකෙරෙත්වායි” නාරජ අණකෙළේය.
5091. “ගෘහවලද, පොකුණුවලද, වීථියෙහි සන්ධිවලද, ගස් මුදුන්වලද, දොරටු තොරන්වලද, පැතුරුනාහු එල්බෙත්වා.
5092. “මමද සියල්ල සුදුවූ මහත්වූ ශරීරයකින් යුක්තව ගොස් ඉතා මහත්වූ නගරය කසී රටවැස්සන්ට භය උපදවමින් දරණ වැලින් වටකරන්නෙමියි” නාරජ කීයේය.
5093. ඔහුගේ ඒ කීම අසා නොයෙක් වර්ණ ඇත්තාවූ නාගයෝ බරණැස් නුවරට රෑ වැදුනාහ. කිසිවෙකුත් හිංසා නොකළහ.
5094. ගෙවල්වලද, පොකුණුවලද, මංසන්ධිවලද ගස් මුදුන්වලද, දොරටු තොරන්වලද, පැතිරී එල්බුනාහුය.
5095. පෙණය කරණලද වරින්වර ප්‍රශ්වාස කරන්නාවූ එල්බෙන්නාවූ ඒ නාගයන් දැක බොහෝ ස්ත්‍රීහු හැඬුහ.
5096. බරණැස අතිශයින් පෙළන ලදී. පීඩාවට පැමිණියාහු රජුවෙත එළඹියාහුය. ‘රජුගේ දුව නාරජුට දෙවයි’ හිස අත්බැඳගෙණ ඇඬූහ.
නගර ඛණ්ඩය.
5097. “පූජා පිණිස ගෙණඑනලද මල් ඇති මේ වනය මැද රක්තවර්ණ ඇස් ඇත්තාවූ පුළුල් උරහිස් අතර ඇති ඔබ කවරෙක්ද? ස්වර්ණමය ග්‍රීවාභරණ, හස්තාභරණ දරන්නාවූ මනා හැඳිවස්ත්‍ර ඇති කවරනම් ස්ත්‍රීහු දශදෙනෙක් වඳිමින් සිටිද්ද,
5098. “මහත්වූ බාහු ඇති කවරෙක්වූ ඔබ වනමැද ගිතෙල් ඉසිනලද ගින්නක් මෙන් බබළන්නෙහිද? මහේශාක්‍යවූ එක්තරා යක්ෂයෙක්වෙහිද නොහොත් මහත් ආනුභාව ඇති නාගයෙක් වෙහිදැයි” බමුණා ඇසීය.
5099. “මම මෙහි ඍර්ධි ඇත්තාවූ විෂ තේජස් ඇති අනිකෙකු විසින් ඉක්මවිය නොහැකිවූ නාගයෙක් වෙමි. ඒ මම කිපියේ විෂ තේජසින් සියලු ජනපදයද දෂ්ටකරන්නෙමි.
5100. “සමුද්දජා නම් දේවි වනාහි මාගේ මවය. ධ්‍රතරාෂ්ට නම් නාරජතෙමේද, මාගේ පියාවේ. මම සුදස්සන නම් නා රජුගේ මළනුවෙමි භූරිදත්තයයි නාගභවනයෙහි මා දනිත්යී” නාරජ කීයේය.
5101. “ගැඹුරුවූ හැමකල්හි පැවති දියසුළි ඇත්තාවූ බිහිසුනුවූ යම් ඒ විලක් දක්නෙහිද, නොයෙක් සියගණන් පුරුෂ ප්‍රමාණ ඇත්තාවූ මෙතෙම මාගේ දිව්‍යවූ වාසස්ථානයවේ.
5102. “ඉව්රුදෙක්හි වාසය කරන්නාවූ මොනරුන් විසින්ද, කොස්වාලිහිණියන් විසින්ද, පවත්වනලද නාද ඇත්තාවූ නීලවර්ණ ජලය ඇත්තාවූ ආචාරසම්පන්න වූවන්ගේ වාසස්ථානවූ, ක්ෂෙමභූමියවූ මේ යමුනා නම් ගඟට භය නැතිව ඇතුල්වෙයි” නාරජ කීයේය.
5103. අනුචරයන් සමග එහි පැමිණියේ පුත්‍රයා සහිත බ්‍රාහ්මණයාට පුදනලද්දේ “බ්‍රාහ්මණය, මාසතු කම්සැපවලින් සුවසේ වාසය කරවයි” නාරජ කීයේය.
5104. “පින්වත් නාගරාජය, ඔබගේ භවනයෙහි මේ භූමි තොමෝ හාත්පස සියලු දිශාවන්හි සමතලාවූවා බොහෝ තුවරලා ඇත්තී රන්වන් ඉඳුගොව්වන්ගෙන් ගැවසීගත්ති නිල්වන් කුශතණවලින් යුක්තවූවා බබළයි.