3. සාම ජාතකය
4618. “කවරෙක් නම් දිය ගෙණ යාමට ප්‍රමාදවූ මට ඊයකින් විද්දේද, ක්ෂත්රියවූ බ්‍රාහ්මණවූ වෛශ්යවූ කවරෙක් මට විද සැඟවීදැයි” සාම කුමාරතෙම ඇසුයේය.
4619. “මාගේ මස් කෑයුතු නොවෙත්. සමින්ද ප්‍රයෝජනයක් නැත්තේය. එසේ ඇතිකල්හි කවර කාරණයකින් මට විදිය යුතුයයි හැඟීදැයි” කීයේය.
4620. “නුඹ කවරෙක් හෝ වෙහිද කවරෙකුගේ පුතෙක් හෝ වෙහිද අපි තා කෙසේ දනිමුද, යහළුව මා විසින් විචාරණ ලද්දේ කියව, කුමකට මා විද සැඟවූනෙහිදැයි” සාම කුමරු ඇසීය.
4621. “මම වනාහි කශී රට වැස්සන්ගේ රජවෙමි. පිළියක් නමැයි මා දනිත්. මාංශ ලෝභයෙන් රට හැර මම මුවන් සොයමින් හැසිරෙමි.
4622. “මම දුනු ශිල්පයෙහිද දක්ෂවෙමි. සහස්සත්ථාම නම් දුන්න නගන්ට පුළුවන් බැවින් දළ්හධම්මයයි ප්රකටය. මාගේ හී පහරට පැමිණ හස්තිතෙමේද නොමිදෙන්නේයයි” පිළියක් රජතෙම කීයේය.
4623. “ඔබද කවරෙකුගේ පුත්‍රයෙක් හෝ වෙහිද, අපි තා කෙසේ දනිමුද, පියාගේ හෝ තමන්ගේ හෝ නාමයද ගොත්‍රයද කියවයි” රජතෙම කීයේය.
4624. “මහරජ, ඔබට යහපතක් වේවා. මම වැදි පුත්‍රයෙක්මි. සාමයයි ජීවත්වන්නාවූ මා නෑයෝ කැඳවූහ. ඒ මම අද මෙසේ මරුමුවට පැමිණියේ සයනය කරමි.
4625. “මහරජ, විෂ සහිතවූ මහත්වූ හීයකින් මුවෙකු මෙන් විදිනලද්දේ වෙමි. බලව ස්වකීය ලේවල ගැලුනේ සයනය කරමි.
4626. “හීතලය වම්පසින් ඇතුල්ව දකුනැලයෙන් නික්ම ගියේය. ලේ වමාරමි. ගිලන්වූයේ මම තා විචාරමියි කුමට මා විද සැඟවූයෙහිද?
4627. “අඳුන් දිවිසම නිමිතිකොට දිවියා නසනු ලැබේ. දළ නිසා හස්තිතෙම නසනු ලැබේ. එකල්හි කවර කරුණකින් මා විදියයුතු කොට හැඟීදැයි” සාම කුමරු ඇසීය.
4628. “පින්වත් සාමය, හීපහරට පැමිණියාවූ මුවෙක් ඉදිරිපස සිටියේය. තා දැක මුවා භයවී ගියේය. එයින් ක්‍රෝධයතෙම මට උපන්නේයයි” පිළියක් රජ කීයේය.
4629. “යම් කලෙක පටන් තමා සිහි කෙරෙම්ද, යම්කලෙක පටන් නුවණැති බවට පැමිණියෙම්ද, මේතාක් වනයෙහි චණ්ඩ මෘගයන්වූ මුවෝද, මා දැක භය නොවෙත්.
4630. “යම්කලක පටන් වැහැරි සිවුර පරිහරණය කෙරෙම්ද, යම්කලෙක පටන් යෞවන බවට පැමිණියෙම්ද, මේතාක් වනයෙහි චණ්ඩ මෘගයෝද මා දැක භය නොවෙත්.
4631. “මහරජ, ගන්ධමාදන පර්වතයෙහි භයජනකවූ කිම් පුරිසයෝද වෙත්. පර්වතවලද වනාන්තර වලද ඔවුන් සමග සතුටු වෙමින් යමු. එසේ ඇතිකල්හි කවර කරුණකින් ඒ මුවා මට බියවන්නේදැයි” සාම කුමරු ඇසීය.
4632. “එම්බා සාමයෙනි, මුවා ඔබ නොදැක්කේය. කුමට මම ඔබට බොරුකියම්ද, ක්‍රෝධයෙන් හා ලෝභයෙන් මඩනා ලද්දාවූ මම ඒ ඊය ඔබට විද්දෙමියි” පිළියක් රජ කීයේය.
4633. “යහළුව, කොතැනින් හෝ අවුත් දියගෙණ ඊමට ගඟට යවයි’ කවරෙකු විසින් හෝ එවනලද්දේ නුඹ මුවන්ගේ යයි සම්මතවූ මේ විලට ආයේදැයි” ඇසීය.
4634. “මහරජ, මාගේ මව්පියෝ අන්ධවූහ. මේ මහත්වූ වනයෙහි මම ඔවුන් පෝෂණය කරමි. මම ඔවුන්ට දිය ගෙණ යන්නෙක්ව මෘග සම්මතවූ මේ විලට ආයෙමියි” සාම කුමරු කීයේය.
4635. “ඒ මාගේ මව් පියන්ට භෝජනය පමණක් ඇත්තේය. එකල්හි සදවසක් ජීවත්වීම වන්නේය. ඒ මාගේ අන්ධවූ මව්පියෝ දිය නොලැබීමෙන් මැරෙන්නාහුයයි හඟිමි.