2. මහාජනක ජාතකය
123. “මේ මුහුද මැද ඉවුරක් නොදක්නේ කවරෙක් නම් පීනමින් උත්සාහ කරන්නේද, ඔබ කිනම් ප්‍රයෝජනයක් සලසා මෙසේ මහත් ලෙස ව්‍යායාම කරන්නෙහිදැයි” මණිමෙඛලා නම් දෙව්දුව ඇසීය.
124. “එම්බා දෙව්දුව, මම ලෝක චාරිත්‍රයද අසා ඇත්තෙමි. ව්‍යායාමයාගේ ආනිශංසයද දැන සිටිමි. එහෙයින් මේ මුහුද මැද ඉව්රක් නොදැක උත්සාහ කරන්නෙමියි” මහා ජනක කුමාරතෙම කීයේය.
125. “අපමණ ගැඹුරුවූ මේ සාගරයෙහි ඉව්ර යමෙකුට නොපෙනේද ඉවුරට නොපැමිණම මරණයට පැමිණෙන්නෙහිද, එම්බා පුරුෂය, එබඳුවූ ඔබගේ ඒ ව්‍යායාමයතෙම හිස්වේයයි” දෙව්දුව කීය.
126. “එම්බා දෙව්දුව යමෙක් පුරුෂ වීර්‍ය්‍ය කරන්නේ නම් හෙතෙම නෑයන්ටද දෙවියන්ටද බ්‍රහ්මයාටද ණය නැත්තෙක් හෙවත් නොගැරහිය යුත්තෙක් වේ. පසුතැවිලිද, නොවේයයි’ කුමාරතෙම කීයේය.
127. “එම්බා පුරුෂය, යම් කර්මයක් උත්සාහයෙන් නොලැබිය හැකිද, නිෂ්ඵලද වෙහෙස වඩන්නේද, යම් උත්සාහයක් කරන්නෙකුට මරණය පැමිණේද එබඳු කටයුත්තෙහි උත්සාහ කිරීමෙන් කවර ප්‍රයෝජනයෙක්දැයි” දෙව්දුව ඇසීය.
128. “එම්බා දෙව්දුව, යමෙක් ඒකාන්තයෙන් උත්සාහ කොටද නොලැබිය හැකියයි දැන ඉදින් එබඳු තැන්වල උත්සාහය අඩුකෙරේ නම් හෙතෙම තමන්ගේ ආත්මය නොරකීයයි දතයුතුයි.
129. “එම්බා දෙව්දුව මේ ලෝකයෙහි සමහරු ප්‍රයෝජනය සලකා කර්මාන්ත යොදවත්. ඒ කර්මාන්තයෝ සමෘද්ධවන්නාහුද වෙත්.
130. “එම්බා දෙව්දුව, සෙස්සෝ මුහුදෙහි ගිළුනාහ. මම වනාහි මේතාක් තරණය කරමි. සමීපයෙහි සිටි ඔබද දකිමි. මේ ආත්මයෙහිවූ කර්ම විපාකය නොවේදැයි බලව.
131. “ඒ මම සත්‍යවූ පරිදි බලය ඇති පරිදි සමුද්‍රයාගේ පරතෙරට යමින් පුරුෂ වීර්‍ය්‍යය කරමින් උත්සාහ ගන්නෙමියි” කුමාරතෙම කීයේය.
132. “එම්බා පුරුෂය, මෙබඳු ගැඹුරු පුළුල්වූ සැඩපහර ඇත්තාවූ ප්‍රමාණයක් කළ නොහැකි මහා සාගරයෙහි දැහැමි උත්සාහයෙන් යුක්තවූ යම්බඳුවූ ඔබ ස්වකීය පුරුෂ වීර්‍ය්‍යයෙන් නොගිලෙන්නෙහිය. යම්තැනෙක්හි ඔබගේ සිත ඇළුනේද, එ ඔබ එතැන්හිම යවයි” දෙව්දුව කීය.
133. [“සූර්‍ය්‍යයා උදාවන තන්හි නිධානයෙක, බස්නා තන්හි නිධානයෙක, ඇතුළත නිධානයෙක, පිටත නිධානයෙක ඇතුළත්හි නොවූ පිටත්හි නොවූ තැන නිධානයෙක.
134. “නගින තැන මහත් නිධානයෙක, තවද බහින තැන නිධානයෙක, මහසල් ගස් සතර තිබෙන තැන්වලද නිධාන වෙත්. හාත්පස යොදුනක් තැනද නිධානයෙක.
135. “දළ කෙළවර තැන්හි මහා නිධානයෙක. මාලිගා කෙළවරවල්හිද නිධානවෙත්. දිය ඇති තන්හි නිධානයෙක. ගසමුදුන මහා නිධානයෙක මේ මහ නිධන් සොළොසට ලකුණුවෙත්. සහස්සත්ථාම දුන්න නැගීමද හතරැස් ආසනය හිස කෙළවර දැනීමද සීවලී කුමරිය සතුටු කිරීමද (හැකි කෙනෙකුට රාජ්‍යය දියයුතුයයි පෝලජනක රජ විසින් මරණ මඤ්චකයෙහිදී කියන ලදී.)”]
136. “නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. වීර්‍ය්‍යය කරමින් නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යමක් කැමතිවීම්ද එය එසේවිය.
137. “නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. උත්සාහයෙහි නොකලකිරෙන්නේය. ඒ මම දියෙන් ගොඩ ආ තමා දකිමි.
138. “නුවණැති පුරුෂතෙම උත්සාහකරන්නේමය අතර නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යම්සේ කැමතිවීම්ද එසේ වූයේය.
139. “නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමය. උත්සාහ කරමින් නොකලකිරෙන්නේය. ඒ මම සාගරයෙන් ගොඩ ආවාවූ තමා දකිමි.
140. “දුකින් පෙළුනාවූද නුවණැති මනුෂ්‍යතෙම සැප ලැබීමෙහි ආසාව නොසිඳින්නේය. දුක්වූද සැපවූද ස්පර්ශයෝ බොහෝ වෙත්. ඒ නොසිතන්නාහු මරණයට පැමිණෙත්.
141. “නොසිතන ලද්දේවේ. සිතනලද්දද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම වන්නාවූ සම්පත්තීහු නොමවෙත්යයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය.
142. “පින්වත්නි, සියලු පොළොව රක්නාවූ දිසාවන්ට අධිපතිවූ රජතෙම ඒකාන්තයෙන් පෙර මෙන් නොවේ. අද නැටුම් නොබලයි. ගී කීමෙහි සිත් නොකෙරෙයි.
143. “මෘග යුද්ධද නොබලයි. උද්‍යාන ක්‍රීඩාද නොකරයි. හංසයන්ද නොබලයි. ගොළුවෙකු මෙන් නිශ්ශබ්දව හුන්නේ අර්ථයෙන් අනුශාසනා නොකෙරේයයි” මහජනතෙම කීයේය.