536. කුණාළ ජාතකය
මෙසේ කියනු ලැබේ, මෙසේ අසනු ලැබේ: සර්වෞෂධධර නම් පර්වතයෙහි, නොයෙක් මල් දමින් විසිතුරු වූ, ඇතුන් ගවයන් මීවුන් රුරු මුවන් චමර මුවන් පසද මුවන් කඟවේනන් ගෝනන් සිංහයන් ව්‍යාඝ්‍රයන් දිවියන් වලසුන් කොකයන් තරහයන් උද්දාරකයන් කදලි මුවන් බළලුන් සසකයන් කන්ණකයන් හැසිරෙන, ආකිර්ණ වූ නෙලමණ්ඩල මහා වරාහ නාග කුල කණේරු සංඝයා විසින් අධිවසන ලද, ඉස්ස මුවන් සාඛ මුවන් සරභ මුවන් ඵණි මුවන් වාත මුවන් පසද මුවන් පුරුෂ ලලුන් කිඳුරන් යක්ෂයන් රාක්ෂයන් විසින් සෙවුනා ලද, අමජ්ජ මඤ්ජරීධර වූ බ්රහත්වූ පුෂ්පයන්ගෙන් හෙබි අග ඇති නොයෙක් වෘක්ෂ සමූහයෙන් ගැවසුනු, කුරර චකොර වාරණ මයුර පරාභූත ජීවඤ්ජීවක චේලාවක ආදී පක්ෂීන්ගෙන් යුක්ත වූ,
භිංකාර කරවීක ආදී මත්වූ සිය ගණන් පක්ෂීන්ගේ නාදයෙන් ඝෝෂාකාරී වූ, අඳුන් මනෝශිලා හරිතාල හිඟුල් රන් රිදී ආදී නොයෙක් සිය ගණන් ධාතුවින් බඳනා ලදුව අලංකාර වූ ප්‍රදේශ ඇති, භවත්නි, එබඳු වූ රම්‍ය වූ වන ලැහැබෙහි කුණාල නම් පක්ෂියෙක් වසයි. හේ ඉතා විසිතුරු විය. ඉතා විසිතුරු පියාපත් ඇත්තේ විය. භවත්නි, ඒ කුණාල පක්ෂියාට තුන් දහස් පන්සියයක් පරිවාරිකා වූ ලිහිණි කන්‍යාවෝ වූහ. භවත්නි, ඉක්බිති ලිහිණි කන්‍යාවෝ දෙදෙනෙක් ලී කැබැල්ලක් මුවින් ඩැහැගෙන ඒ කුණාල පක්ෂියා මැද හිඳුවාගෙන පියාසර කරත්, කුණාල පක්ෂියාට දීර්ඝ මාර්ගයේ ගමන් කිරීමෙන් ක්ලමථයක් හෝ වෙහෙසක් හෝ නොවේවා යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ යටින් යටින් පියාසර කරත්, ඉදින් මේ කුණාල පක්ෂිතෙම ආසනයෙන් වැටෙන්නේ නම් අපි ඔහු පියාපත්වලින් පිළිගන්නෙමු යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ මතු මත්තෙහි පියාසර කරත්, කුණාල පක්ෂියාට අව්වෙන් පීඩාවක් නොවේවා යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ දෙපසින් පියාසර කරත්, කුණාල පක්ෂියාට සීතලක් හෝ උෂ්ණයක් හෝ තණ හෝ දූවිලි හෝ සුළං හෝ පින්න හෝ නො ස්පර්ශ වේවා යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ ඉදිරියෙන් ඉදිරියෙන් පියාසර කරත්, කුණාල පක්ෂියාට ගොපල්ලෝ හෝ සතුන් බලන්නෝ හෝ තණ ගෙනෙන්නෝ හෝ දර ගෙනෙන්නෝ හෝ වන කම්කරුවෝ හෝ දරකින් හෝ කැටයකින් හෝ අතින් හෝ (ගලකින් හෝ) කැටයකින් හෝ දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ බොරළු කැටයකින් හෝ පහර නොදෙත්වා. මේ කුණාල පක්ෂිතෙම ගස්වල හෝ වැල්වල හෝ රුක්වල හෝ අතුවල හෝ කණු වල හෝ ගල්වල හෝ බලවත් පක්ෂීන්ගේ හෝ නො ගැටේවා යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ පස්සෙන් පස්සෙන් පියාසර කරත්, සිනිඳු වූ මෘදු වූ මිහිරි වූ මධුර වූ වචනයෙන් කථා කරමින්, මේ කුණාල පක්ෂිතෙම ආසනයෙහි නො කම්මැලි වේවා යි සිතාය. පන්සියයක් ලිහිණි කන්‍යාවෝ දිසාවෙන් දිසාවට පියාසර කරත්, නොයෙක් ගස්වල විවිධ වූ ඵල වර්ග ගෙන එමින්, මේ කුණාල පක්ෂිතෙම බඩගින්නෙන් පීඩා නොවේවා යි සිතාය. භවත්නි, ඉක්බිති ඒ ලිහිණි කන්‍යාවෝ ඒ කුණාල පක්ෂියා ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, නදී තීර්ථයෙන් නදී තීර්ථයට, පර්වත මුදුනෙන් පර්වත මුදුනට, අඹ වනයෙන් අඹ වනයට, දඹ වනයෙන් දඹ වනයට, ලබු වනයෙන් ලබු වනයට, පොල් වනයෙන් පොල් වනයට වහා පමුණුවත්, රතිය පිණිසය. භවත්නි, ඉක්බිති කුණාල පක්ෂිතෙම ඒ ලිහිණි කන්‍යාවන් විසින් දවස පුරා සත්කාර කරනු ලබන්නේ මෙසේ නිග්‍රහ කරයි: 'තොපි නැසෙව් වසලියනි, තොපි විනාශ වෙව් වසලියනි, සොර අඟනනි, ධූර්තයිනි, අසතියනි, චපල සිත් ඇත්තියනි, කළ ගුණ නොදන්නියනි, සුළඟ මෙන් කැමති තැනක යන තැනැත්තියනි' යි.