21. ආසීති නිපාතය
1. චුල්ලහංස ජාතකය
3825. “සුමුඛය, ආදරවශයෙන් නොබලන්නාවූ මේ හංසයෝ බැහැරයෙත්. තෝද යව, බලාපොරොත්තු නොවෙව. පාපයෙහි බැඳුනාහු කෙරෙහි සහාය බවක් නැත්තේයයි හංස රජතෙම කීයේය.
3826. “හංස රාජය, මම යන්නෙම් හෝ වේවා නොයන්නේ හෝ වේවා එයින් නොමැරෙන්නෙක් නොවන්නෙමි. සුවපත්වූ ඔබ ඇසුරුකොට දැන් දුකට පැමිණියාවූ ඔබ කෙසේ හරනෙම්ද,
3827. “මෙහි ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන්ව ගොස් ජීවත්වීම හෝ වන්නේය ඉදින් ඔබගෙන් වෙන්ව ජීවත්වන්නෙම් යන යමක්වේද ඊට වඩා ඔබ හා ඒ මරණය ශ්රේෂ්ඨවන්නේය.
3828. “මහරජ, මෙසේ දුකට පැමිණියාවූ ඔබ අත් හරින්නේය යන යමක්වේද, මෙතෙම සත්පුරුෂ ධර්මය නොවේ. හංසරාජය, ඔබට මෙහි යම් නිෂ්පත්තියක්වේද ඒ මට රුචිවේයයි” සුමුඛ නම් හංසතෙම කීයේය.
3829. “සුමුඛය, පාසයෙන් බැඳුනහුට මුළුතැන්ගෙය යාම හැර අන්‍යවූ කවර ගතියක්වේද, සිතිය හැක්කාවූ නුවණ ඇති පාසයෙන් මිදුනාවූ තට ඒ කෙසේනම් රුචිවේද?
3830. “පියාපත් ඇති සුමුඛය මගේද, තොපගේද යන දෙදෙනාගේ ජීවිත විනාශය ඇතිකල්හි අපදෙදෙනාට හෝ සෙසු නෑයන්ට හෝ කවරනම් වැඩක් තෝ දන්නෙහිද?
3831. “රන්වන් පියාපත් දෙක ඇති සුමුඛය අන්ධයෙකු විසින් අඳුරෙහි කරණ ලද්දක් මෙන් ඔබ විසින් යම් ප්‍රාණ ත්‍යාගයක් කරණලද්දේද, එබඳුවූ ප්රාණත්යාගයෙහි ඔබ කවර වැඩක් දක්නෙහිද?
3832. “පක්ෂිරාජය, කෙසේනම් ධර්මයෙහි අර්ථය නොදන්නෙහිද, ධර්මයතෙම පුදනලද්දේම සත්වයන්ට අභිවෘද්ධිය දක්වයි.
3833. “ඒ මම ධර්මයද ධර්මයෙන්ම ඇතිවූ අර්ථයද දකිමින් ඔබ කෙරෙහි භක්තියද දකිමින් ජීවිතයෙහි සැක නොකරමි.
3834. “සුමුඛය, යම් මිත්‍රයෙක් මිත්‍රයාට පැමිණි විපතෙහි ධර්මය සිහිකරමින් ජීවිතය හේතුකොටගෙණද අත්නොහරින්නේද, මෙතෙම ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මයවේ
3835. “ඒ මේ ධර්මයද නුඹ විසින් පුරුදුකරණලදී. මා කෙරෙහි භක්තියද ප්‍රකට කරණලදී. මලපතෙහි බැඳුනු මට මේ වැද්දා කැමැත්තක් කෙරේවා. මා විසින් අනුදන්නා ලද්දේම නුඹ යව.
3836. “තවද මෙසේ කල්ගිය කල්හි මා හේතුකොටගෙණ අපගේ නෑයන්ට යම් අඩුවක් වේනම් ප්‍රඥා ඇති සුමුඛය එය තොප නිසා අතිශයින් වැසෙනලද්දක් වන්නේය”
3837. ආර්‍ය්‍යවූ පැවතුම් ඇති උතුම්වූ හංසයන් දෙදෙනා මෙසේ කථාකරමින් සිටියදීම ගිලනුන්ට මාරයා මෙන් වැද්දා පෙනුනේය.
3838. බොහෝ කලක් හිතවත්වූ ඒ පක්ෂින් දෙදෙනා සතුරු වැද්දා දැක නිශ්ශබ්දවූහ. හුන් තැනින් නොසෙල් වුනාහුය.
3839. පක්ෂීන්ට සතුරුවූ වැදිතෙම ඒ ඒ තැනින් අහසට නගින්නාවූ හංසයන් ද දැක ඒ හංසරාජයන් දෙදෙනා වෙත වහා පැමිණියේය.
3840. ඒ වැද්දා වහා පැමිණ උතුම් පක්‍ෂිරාජයන් දෙදෙනාට ලංව බැඳුනාහුයයි සිතමින් සෙමින් ළංවූයේය.
3841. මලපතෙහි බැඳීඋන්නාවූ එකෙකුද නැවත බැඳී උන්නහුට ළංව දීන නොව බලමින් හුන්නාවූ නොබැඳුනාවූ අනිකාද දිටී.
3842. “එහෙයින් හෙතෙම හටගත් විමති ඇත්තේම ඉතා වැඩුනු ශරීර ඇති හුන්නාවූ පක්ෂි සමූහයාට අධිපතිවූ ඒ ශ්වෙත හංසයන් දෙදෙනාට මෙසේ කීයේය.
3843. “මහත්වූ පාශයෙන් බැඳුනාවූ මෙතෙම යම් හෙයකින් දිසාවකට පළායාම නොකෙරේද, එකල්හි බලවත් වූ පක්ෂ ඇත්තාවූ නොබැඳුනාවූ නුඹ කවර හෙයකින් නොයන්නෙහිද?
3844. “මිදුනාවූ නුඹ බැඳුනාවූ මොහු ඇසුරුකෙළෙහිය. මේ පක්ෂිතෙම නුඹට කවරෙක්වේද, සෙසු පක්ෂීහු මොහු හැරයත්. නුඹ තනිව කුමට පසුබස්නෙහිදැයි” ඇසීය.
3845. “පක්ෂීන්ගේ සතුරුවූ වැදිපුත්‍රය, මෙතෙම මාගේ රජය මාගේ ප්‍රාණය හා සමානවූ යහළුවාද වේ. මරණ වාරය පැමිණෙනතුරු ඔහු නොම අත්හරින්නෙමි.
3846. “කෙසේනම් මේ පක්ෂිරාජතෙම අටවනලද පුඩුමලය නොදැක්කේද, මහත් බවට පැමිණියවුන් විසින් පැමිණියාවූ මේ විපත්ති කාරණය දැනගන්ට සුදුසුවෙත්මැයි.
3847. “යම්කලෙක්හි පිරිහීමක්වේද, ජීවිත විනාශය පැමිණියාවූ ඒ කාලයෙහි පුරුෂතෙම දැලටද, මලපුඩුවටද ලංවීත් නොදනියි
3848. “මහනුවණැත්ත, එතකුදුවුවත් අනෙකප්‍රකාරවූ පුඩුමල අටවනලද්දාහ. ඉක්බිති මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි එයින් සැඟවීතුබූ පුඩුමලයට පැමිණ බැඳෙත්යයි” කීයේය.