2. මහාහංස ජාතකය
3913. “රන්වන් සිවිය ඇති ස්වර්ණ වර්ණවූ සුන්දරමුඛ ඇත්තාවූ සුමුඛය, භයින් කම්පාවූවක්වූ අවයව ඇති මේ හංසයෝ බැහැරයෙත්. තෝද ඒකාන්තයෙන් බැහැර යව.
3914. “තනිව මලපුඩුවෙහි අසුවූ මා හැර නෑ සමූහයෝ අපෙක්ෂාවක් නැතුව යෙත්. තනිවූ තෝ කුමක් හෙයින් පසුබස්නෙහිද?”
3915. “පක්ෂි ශ්‍රේෂ්ඨය, තෝද පැනයව, බැඳුනහු කෙරෙහි සහාය බවක් නැත්තේය. නිදුක් බැවින් නොපිරිහෙව. සුමුඛය ඒකාන්තයෙන් බැහැර යවයි” හංස රජතෙම කීයේය.
3916. “ධ්‍රතරාෂ්ට නම් මහරජ, මම දුකින් පෙළුනේයයි ඔබ නොහරින්නෙමි. මාගේ ජීවත්වීම හෝ මරණය හෝ ඔබ සමග වන්නේය
3917. “ධ්‍රතරාෂ්ට නම් රජ, මම දුකින් පෙළුනේ යයි ඔබ නොහරින්නෙමි අනාර්‍ය්‍යයන් විසින් යෙදෙන්නාවූ කර්මයෙහි මා යොදවන්ට නුසුදුස්සෙහිය.
3918. “හංසරාජය, මම ඔබගේ සමාන කුමාර බැව් ඇති යහළුවාද වෙමි. ඔබගේ ස්වකීය සිතෙහි පරිදි සිටියෙක්ද වෙමි. සේනාපතියයිද ප්රකටවූයෙමි.
3919. “මෙයින් ගියාවූ මම නෑයන් මැද කෙසේ නම් කියන්නෙම්ද? පක්ෂිරාජය, ඔබ හැර මෙයින් ගියාවූ මම ඔවුන්ට කුමක් නම් කියන්නෙම්ද? මෙහි ප්‍රාණය හැර දමන්නෙමි අනාර්ය්යවූවක් කරන්ට නොහැකිවන්නෙමියි” සුමුඛතෙම කීයේය.
3920. “එම්බා සුමුඛය, ආර්‍ය්‍යමාර්‍ගයෙහි සිටියාවූ ඔබ යමක් කීයෙහිද, යමෙක් ස්වාමියාවූද යහළුවාවූද මා හැරදමන්ට උත්සාහ නොකරන්නේද, මේ වනාහි පුරාතන පණ්ඩිතයන්ගේ ස්වභාවයවේ.
3921. “නුඹ දක්නාවූ මට වනාහි හයක් නොම උපදී. මෙසේ පාසයෙහි බැඳුනාවූ මාගේ ජීවිතය නුඹ ලබා දෙන්නෙහියයි” හංසරාජතෙම කීයේය.
3922. ආර්‍ය්‍ය පැවතුම් ඇත්තාවූ මේ උතුම්හංසයන් දෙදෙනා මෙසේ කථාකරමින් සිටියදීම වැදිතෙම දැඩිවූ දණ්ඩක් ගෙණ වහා පැමිණියේය.
3923. එන්නාවූ ඔහු දැක සුමුඛතෙම මහත් ශබ්ද කෙළේය. සුමුඛනම් හංස තෙම බියපත්වූ රජුට විශ්වාස වෙමින් රජුගේ ඉදිරියෙන් සිටියේය.
3924. “පක්ෂි ශ්‍රේෂ්ඨය, බිය නොවෙව, තොපවැන්නෝ නොම බියවෙත්. මම දැහැමින් යුක්තවූ සුදුසුවූ උත්සාහයක් කරන්නෙමි ඒ උත්සාහය යෙදීමෙන් ඔබ වහා බන්ධනයෙන් මිදෙන්නෙහියයි” සුමුඛතෙම කීයේය.
3925. ඒ සුමුඛ නම් හංස සේනාපතියාගේ ඒ මනාකොට කියනලද වචනය අසා ලොමු ඩැහැගත් වැදිතෙම ඔහුට ඇඳිළිබැඳ සිටියේය.
3926. “යහළු පක්ෂීරාජය, ද්විජවූම නුඹ අද මා විසින් මිනිස් තෙපුලෙන් කථාකරමින් නිර්දෝෂ ලෙස මනුෂ්‍ය වචන නිකුත් කරමින් කියන්නේ ඇසින් දක්නා ලදී. මින් පෙර මෙබඳු ආශ්චර්‍ය්‍යයක් නොම අසනලදී. නොම දක්නා ලදී.
3927. “මිදුනාවූ ඔබ පාශයෙහි බැඳුනාවූ මොහු යම් හෙයකින් ඇසුරුකෙරෙහිද, එහෙයින් මේ පක්ෂිතෙම ඔබගේ කවරෙක්වේද, සෙසු පක්ෂීහු ඔහු හැරයත්, තනිවූ ඔබ කුමක් හෙයින් පසුබස්නෙහිදැයි” වැද්දා ඇසීය.
3928. “එම්බා පක්ෂීන්ට සතුරුවූ වැදිපුත්‍රය, මෙතෙම මාගේ රජය. මම මොහුගේ සේනාපති බව කරවමි. විපත් පැමිණිකල්හි ඒ පක්ෂිරාජයා හැරයන්ට නොහැකිවන්නෙමි.
3929. “මහත්වූ හංස සමූහයාගේද මාගේද ස්වාමීවූ මෙහෙම තනිව විපත්තියට නොපැමිණේවා. යහළු වැදි පුත්‍රය, එය එසේමය. මේ තෙම මාගේ ස්වාමියාවේ. මම මොහු සමීපයෙහි සිත් අලවන්නෙමියි” සුමුඛ තෙම කීයේය.
3930. “එම්බා පක්ෂිය, යමෙක් ස්වාමියාගෙන් ලැබූ ආහාරයට පුදන්නෙහිද, ඒ නුඹ ආර්‍ය්‍යයන්ගේ පැවතීමෙන් යුක්ත වෙහිය. මම ඔබගේ ඒ ස්වාමියා හරිමි දෙදෙනා සුවසේ යව්යයි” වැද්දා කීයේය.
3931. “යහළුව, ඉදින් ඔබ විසින් තමාගේ ප්‍රයෝජනය පිණිස හංසයන්ට හා පක්ෂීන්ට උගුල් අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය පිළිගනිමි.
3932. “තමන්ගේ ප්‍රයෝජනය සඳහා හංසයන්ට හා පක්ෂීන්ට උගුල් අටවන ලද්දේ නොවේ නම් එහි අධිපති නොව අප මුදා හරින්නේ වැදි පුත්‍රය, නුඹ සොර කමක් කරන්නෙහියයි” සුමුඛතෙම කීයේය.