303. වානරේන්ද්‍රය, වාක් සත්‍යයද, පරීක්ෂාඥාන ධර්මයද අකම්ප්‍යවූ ධෛර්‍ය්‍යයද, පරිත්‍යාගයද යන මේ ධර්මයෝ සතරදෙන තොපට මෙන් යම් පුද්ගලයෙකුට විද්‍යමාන වෙද්ද, හෙතෙම සතුරා ඉක්ම පවතියි.
304. සත්‍යය, ප්‍රඥාවය, ධෛර්‍ය්‍යය, ත්‍යාගය යන මේ ඉතා යහපත්වූ ගුණයෝ යමෙකුට නැද්ද, හෙතෙම සතුරා ඉක්ම නොපවතින්නේය.
4. කුම්භීලජාතකං.
305. දෙවයෙනි, මාගේ සියලු කටයුතුවල ව්‍යාවෘතවූ පුරුෂයෙක් ඇත. ඔහුගේද එක් අපරාධයෙක් ඇත්තේය. එහිලා ඔබ කුමක් නම් සිතන්නෙහිද?
306. අපගේද මෙබඳුවූ පුරුෂයෙක් ඇත. ඒ මෙතැන්හිම සිටියේය. සියලු ගුණාංගයෙන් යුක්තවූ පුරුෂයෙක් දුර්ලභවේ. අපට ඉවසීම රුචිවේ.
5. ඛන්තිවණ්ණනජාතකං.
307. සුදුසු කාලයෙහි නික්මීම, (නොහොත්) පරාක්‍රමය, යහපත්වේ. නුසුදුසු කල්හි තමා හුන් තැනින් නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නොවේ. නුසුදුසු කාලයෙහි වනාහී නික්ම කිසි අභිවෘද්ධියක් නොබබළවයි (හෙවත්) ප්‍රයෝජනයක් නොලබයි. හුදකලා වූවහුද, බොහෝ දෙනා බකමුහුණෙකු නැසූ කාක සේනාව මෙන් විනාශයට පමුණු වන්නේය.
308. (පුරාතන පණ්ඩිතයන් විසින් නියමකොට තබන ලද) විධියගේ සංවිධාන ක්‍රමය දන්නාවූ අනුන්ගේ සිදුරු දන්නාවූ ප්‍රාඥතෙමේ වනාහි සියලු සතුරන් වසඟකොට මේ නුවණැති බකමුහුණා මෙන් සුවපත්වූයේ වන්නේය.
6. කොසියජාතකං.
309. ශූර ගුණයෙන් යුක්තවූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නාවූ පුරුෂයා හා සූරවූ පුරුෂතෙම එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නොකොට කුමටයේද, හස්තිය, මෙහි එව, නැවතුව කුමට නම් බියවූයේ පලායෙහිද? මාගේද නුඹගේද වික්‍රමය අඟු මගධ දෙරට වැස්සෝ බලත්වා.
310. තා පාදයෙන් නොමරන්නෙමි. දත්වලින් නොමරන්නෙමි. සොඬිනුත් නොමරන්නෙමි. වැලි කුමකින්ද, යත්. අශුචියෙන්ම තා මරන්නෙමි. අශුචියෙන් අශුචිය නසනු ලැබේවයි.
7. ගූථපාණකජාතකං.
311. බමුණ, උත්තර පඤ්චාලයද කුරුරටද කේකය නම් රටද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරයද ප්‍රාර්ථනා කරමි. ඒ බරණැස් රාජ්‍යයට වඩා වැඩියක් ප්‍රාර්ථනා කරමි. බමුණ, කාමයෙන් ව්‍යසනයට පමුණුවනලද, මා පිළියම් කරව.
312. කළු සර්පයන් විසින් දෂ්ට කරණ ලද්දහුට සමහරු මන්ත්‍රෞෂධාදීන් පිළියම් කරන්නාහුමය. (භූත චිකිත්සාවෙහි දක්ෂවූ) පණ්ඩිතයෝ යක්ෂයා විසින් මඩනා ලද්දහුට පිළියම් කරත්, කිසිවෙක් කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට (අසාධ්‍ය බැවින්) පිළියම් නොකරත්. ඒ එසේමැයි ඉක්මවූ කුශල ධර්ම ඇත්තාහට කවරනම් පිළියමක්දැයි.
8. කාමනීතජාතකං
313. උතුම් ඇතුන් නමැති වළාකුළුවලින් ද, උතුම් අශ්ව පෙළවලින් ද, ඊතල වැසි වසින රථ නමැති රළ පෙළවලින් ද, කඩු මිටි අල්ලාගෙන ඔබමොබ හැරෙමින් දැඩි සේ පහර දෙන යෝධයන්ගෙන් ද තක්සලා නුවර හාත්පසින් වට කරනු ලැබේවා (ඉක්මනින් එසේ කරව්).
314. නානාප්‍රකාරයෙන් මහත් නාද කරන්නාවූ තෙපි ඇතුන් හා සමග ඉදිරියට දුවව් පනිව්, අද මහත්වූ ඝොෂාවෙක් පවත්වාවා, ගර්ජනා කරන්නාවූ මේඝයාගේ විදුලි ගැසීමක් මෙන් වහා නුවර වට කරව.
9. පලාසිජාතකං.
315. රථයෙහි මයුර පාදයෙහි නගනලද ධ්වජ අප්‍රමාණය. මාගේ සේනාව කෙළවර නැත. කවුඩන් විසින් සාගරය මෙන්, සතුරන් විසින් මැඩිය නොහැක. සුලඟින් පර්වතයක් මෙන් නැසිය නොහැක්කේය. මම අද තාවැන්නකු විසින් මැඩ පැවැත්විය නොහැක්කේ වෙමි.
316. තාගේ අඥාන භාවය ප්‍රකාශ නොකරව, තා බඳුවූ පුරුෂයෙක්, රජය ගැන්මෙහි සමර්ථ නොවේ. හුදෙක්, කෙලෙස් දාහයෙන් දවනු ලබන්නෙහිය. මා වැනි වළක්වන කෙනෙකු නොලබන්නෙහිය. එකළාව හැසිරෙන්නාවූ හස්ති රාජයක්හු ළඟට මෙන් එන්නෙහිය. පාදයෙන් සුණු කළාවූ හුණනළ මෙන් හෙතෙම තා පොළා සුණු කරන්නේය.
10. දුතියපලාසිජාතකං.
කාසාවවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
උතුම් වස්ත්‍ර ඇති කාසාව ජාතකය, ආචාර්ය වචනය දක්වන චුල්ලනන්දිය ජාතකය, ඵල ක්ෂය වූ ගස දක්වන පුටභත්ත ජාතකය, (චතුරො ධම්ම) කුම්භීල ජාතකය, උතුම් පුරුෂයා දක්වන ඛන්තිවණ්ණන ජාතකය, (ධඞ්ක) කෝසිය ජාතකය, (මගධ) ගූථපාණ ජාතකය, (තයො ගිරිනාම) කාමනීත ජාතකය, (ගජග්ග) පලායි ජාතකය සහ (ධජවර) දුතිය පලායි ජාතකයෙන් දසය වේ.