දෙවයෙනි, මාගේ සියලු කටයුතුවල ව්‍යාවෘතවූ පුරුෂයෙක් ඇත. ඔහුගේද එක් අපරාධයෙක් ඇත්තේය. එහිලා ඔබ කුමක් නම් සිතන්නෙහිද?
අපගේද මෙබඳුවූ පුරුෂයෙක් ඇත. ඒ මෙතැන්හිම සිටියේය. සියලු ගුණාංගයෙන් යුක්තවූ පුරුෂයෙක් දුර්ලභවේ. අපට ඉවසීම රුචිවේ.
5. ඛන්තිවණ්ණනජාතකං.
සුදුසු කාලයෙහි නික්මීම, (නොහොත්) පරාක්‍රමය, යහපත්වේ. නුසුදුසු කල්හි තමා හුන් තැනින් නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නොවේ. නුසුදුසු කාලයෙහි වනාහී නික්ම කිසි අභිවෘද්ධියක් නොබබළවයි (හෙවත්) ප්‍රයෝජනයක් නොලබයි. හුදකලා වූවහුද, බොහෝ දෙනා බකමුහුණෙකු නැසූ කාක සේනාව මෙන් විනාශයට පමුණු වන්නේය.
(පුරාතන පණ්ඩිතයන් විසින් නියමකොට තබන ලද) විධියගේ සංවිධාන ක්‍රමය දන්නාවූ අනුන්ගේ සිදුරු දන්නාවූ ප්‍රාඥතෙමේ වනාහි සියලු සතුරන් වසඟකොට මේ නුවණැති බකමුහුණා මෙන් සුවපත්වූයේ වන්නේය.
6. කොසියජාතකං.
ශූර ගුණයෙන් යුක්තවූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නාවූ පුරුෂයා හා සූරවූ පුරුෂතෙම එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නොකොට කුමටයේද, හස්තිය, මෙහි එව, නැවතුව කුමට නම් බියවූයේ පලායෙහිද? මාගේද නුඹගේද වික්‍රමය අඟු මගධ දෙරට වැස්සෝ බලත්වා.
තා පාදයෙන් නොමරන්නෙමි. දත්වලින් නොමරන්නෙමි. සොඬිනුත් නොමරන්නෙමි. වැලි කුමකින්ද, යත්. අශුචියෙන්ම තා මරන්නෙමි. අශුචියෙන් අශුචිය නසනු ලැබේවයි.
7. ගූථපාණකජාතකං.
බමුණ, උත්තර පඤ්චාලයද කුරුරටද කේකය නම් රටද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරයද ප්‍රාර්ථනා කරමි. ඒ බරණැස් රාජ්‍යයට වඩා වැඩියක් ප්‍රාර්ථනා කරමි. බමුණ, කාමයෙන් ව්‍යසනයට පමුණුවනලද, මා පිළියම් කරව.
කළු සර්පයන් විසින් දෂ්ට කරණ ලද්දහුට සමහරු මන්ත්‍රෞෂධාදීන් පිළියම් කරන්නාහුමය. (භූත චිකිත්සාවෙහි දක්ෂවූ) පණ්ඩිතයෝ යක්ෂයා විසින් මඩනා ලද්දහුට පිළියම් කරත්, කිසිවෙක් කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට (අසාධ්‍ය බැවින්) පිළියම් නොකරත්. ඒ එසේමැයි ඉක්මවූ කුශල ධර්ම ඇත්තාහට කවරනම් පිළියමක්දැයි.
8. කාමනීතජාතකං
උතුම්වූ හස්ති නමැති මේඝයන්ගෙන්ද, අග්‍රවූ තරංග මාලාවන්ගෙන්ද, ඊතල නමැති වර්ෂාවන් ඇති රථ නමැති තරංග මාලාවන්ගෙන්ද, කඩු මිටි ඇත්තාවූ ඉතා පරිභ්‍රමණය කොට දැඩිව පහර දෙන යොධයන්ගෙන්ද, හාත්පසින් තක්සලා නුවර වට කරණ ලද්දීය.
නානාප්‍රකාරයෙන් මහත් නාද කරන්නාවූ තෙපි ඇතුන් හා සමග ඉදිරියට දුවව් පනිව්, අද මහත්වූ ඝොෂාවෙක් පවත්වාවා, ගර්ජනා කරන්නාවූ මේඝයාගේ විදුලි ගැසීමක් මෙන් වහා නුවර වට කරව.
9. පලාසිජාතකං.
රථයෙහි මයුර පාදයෙහි නගනලද ධ්වජ අප්‍රමාණය. මාගේ සේනාව කෙළවර නැත. කවුඩන් විසින් සාගරය මෙන්, සතුරන් විසින් මැඩිය නොහැක. සුලඟින් පර්වතයක් මෙන් නැසිය නොහැක්කේය. මම අද තාවැන්නකු විසින් මැඩ පැවැත්විය නොහැක්කේ වෙමි.
තාගේ අඥාන භාවය ප්‍රකාශ නොකරව, තා බඳුවූ පුරුෂයෙක්, රජය ගැන්මෙහි සමර්ථ නොවේ. හුදෙක්, කෙලෙස් දාහයෙන් දවනු ලබන්නෙහිය. මා වැනි වළක්වන කෙනෙකු නොලබන්නෙහිය. එකළාව හැසිරෙන්නාවූ හස්ති රාජයක්හු ළඟට මෙන් එන්නෙහිය. පාදයෙන් සුණු කළාවූ හුණනළ මෙන් හෙතෙම තා පොළා සුණු කරන්නේය.
10. දුතියපලාසිජාතකං.
කාසාවවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
වරවත්ථ, දුම, ඛීණඵල, චතුරො ධම්ම, පුරිසුත්තම, ධංක, මගධ, ගිරි, ගජග්ග සහ ධජවර යන මේ දසය යි.