2. දුක නිපාතය
1. දළ්හ වර්ගය
1. මල්ලික නම් රජ දැඩි තැනැත්තාට දැඩිපහරවල් දෙයි. මෘදුවූ පුද්ගලයා මෘදු බැවින් දිනයි. සත්පුරුෂයාද සත්පුරුෂ බැවින් දිනයි. අසත් පුරුෂයාද අසත් පුරුෂ බැවින් දිනයි. මේ රජතෙම මෙබඳු ගුණ ඇත්තේවෙයි. එබැවින් රථාචාර්යයා මාර්ගයෙන් පහවෙවයි” කීයේය. (මල්ලිකා නම් රජහුගේ රථාචාර්යයා බරණැස් රජහුගේ රථාචාර්යයාට මෙසේ කීය.)
2. “ක්‍රොධ ඇත්තහු ක්‍රොධ නොකිරීමෙන් දිනන්නේය. අයහපත් පුද්ගලයා යහපත් බැවින් දිනන්නේය. තද මසුරා දීමෙන් දිනන්නේය. බොරු කියන්නහු සත්‍ය වචනයෙන් දිනන්නේය. මේ රජතෙම මෙබඳු ගුණ ඇත්තේවෙයි. එබැවින් සාරථිය මාර්ගයෙන් පහ වෙවයි.” කීයේය.
1. රාජොවාද ජාතකය.
3. “මනාකොට පරීක්ෂා නොකොට කරණලද කර්මාන්ත ඇති සිතූ කටයුත්තෙහි නොවිචාරා වහා පටන් ගන්නා තැනැත්තහු මුඛයෙහි තබන ලද උෂ්ණ භෝජනයක් මෙන් ඒ ස්වකීය කර්මාන්තයෝ තවත්.
4. “සිංහ තෙමේද සිංහ නාදයෙන් රිදී පර්වතය ඒකනාද කෙළේය. සිවල්තෙම පළිඟු මිශ්‍රවූ රිදී පර්වතයෙහි වසන්නේ සිංහයාගේ නාදය අසා බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේය. ඔහුගේ හෘදයද පැළුනේයයි කීයේය.”
2. සිඟාල ජාතකය.
5. “යහළුව, මම සිව්පායෙමි. යහළුව නුඹද සිව්පායෙහි, සිංහය, මෙසේ එව. නවතුව, බියපත්වූයේ කුමකට පලා යෙහිද?”
6. “අපවිත්‍රවූ කුණුවූ රෝම ඇත්තේවෙහිය. දුර්ගන්ධය හමන්නෙහිය. ශූකරය ඉඳින් මා හා යුදකරණු කැමැත්තෙහි නම් යහළුව තොපට ජයදෙමියි” කීයේය.
3. ශූකර ජාතකය.
7. “පිහිටක් කැමැත්තාවූ සර්පරාජතෙම ගල්සේ වර්ණයෙන් මේ වල්කලාවට ප්‍රවිෂ්ට වූයේය. ශ්‍රේෂ්ඨවූ වර්ණයද පුදන්නෙම් කනු කැමැත්තෙමුදු කන්ට නොපොහොසත් වෙමි.
8. “උත්තමවූ වර්ණය පුදන්නාවූ කනු කැමතිවූද, යමෙක් කන්ට නොපොහොසත් වෙහිද, ඒ තෝ බ්‍රහ්මයා විසින් රක්ෂාකරණ ලද්දේ බොහෝ කලක්ම ජීවත්වෙව, තොපට දිව්‍යවූ ආහාරයෝ පහළ වෙත්වායි” කීයේය.
4. උරග ජාතකය.
9. “ගර්ගය, වර්ෂ සියයක් ජීවත්වෙව, අනික් විසි හවුරුද්දක්ද ජීවත් වෙව, මා පිසාචයෝ නොකත්වා තෝ අවුරුදු සියයක් ජීවත් වෙව”
10. “තෝද අවුරුදු සියයක් ජීවත්වෙව, අනික් අවුරුදු විස්සද ජීවත්වෙව, පිසාචයෝ හලාහළ විෂය කත්වා, තෝ අවුරුදු සියයක් ජීවත් වෙවයි,” කීයේය.
5. ගග්ග ජාතකය.
11. අලීන චිත්ත කුමාරයා ආශ්‍රය කොට ඉතා සතුටුවූ මහත්වූ සේනාතොමෝ ස්වකීයවූ රාජ්‍යයෙන් අසන්තුෂ්ටවූ කොසොල් රජ දිවි තොර නොකොට අල්වා ගන්නීද,
12. මෙසේ ආශ්‍රය සම්පන්නවූ චතුර්විධ යෝගයාගේ ක්ෂෙමයට හෙවත් නිවනට පැමිණෙනු පිණිස කුශල ධර්මය වඩන්නාවූ පටන්ගන්නාලද වීර්යය ඇති මහණතෙම පිළිවෙළින් සියලු සංයෝජනයන් ක්ෂය කිරීමට පැමිණෙන්නේයයි” වදාළේය.
6. අලීන චිත්ත ජාතකය.
13. “මෘගරාජය, උන්නතවූ දළ ඇත්තෙහිය, ඊශ්වරතෙම යම් දිග්භාගයකින් සේවකයා පහකරණු කැමතිද, ඒ දිශාභාගයෙන් ඒකාන්තයෙන් පහ කරයි. බලවතුන්ගේ ස්වභාව ධර්මය මෙසේ දැනගණුව. (නොහොත්) සිංහධෙනුව උස්වූ නාද ඇත්තී යම් කාරණයකින් ඒකාන්තයෙන් හිංසා කෙරේද, ඒ පරිදි තීද දණුව, සරණව සිටි තොප කෙරෙන් භය උපන්නේය.
14. “ඉදින් දුර්වලවුද මිත්‍රතෙම මිත්‍ර ධර්මයන්හී පිහිටියේ නම් හෙතෙම නෑයාදවේ. බන්ධුදවේ. හෙතෙම මිත්‍රයාදවේ. හෙතෙම මාගේ යහළුවාද වෙයි. සිංහය, ඉක්මවා නොසිතව, (හෙවත්) නින්දා නොකරව, හිවල්තෙම මාගේ ප්‍රාණය දුන් මිත්‍රයායයි” කීයේය.
7. ගුණ ජාතකය.
15. “සුහණු නම් අශ්වතෙම සෝන නම් අශ්වයා සමග යම් ප්‍රේමයක් කෙරේද, මේ ප්‍රේමය තමාගේ විෂම ස්වභාවයෙන් නොවේ. යම් සුහණු නම් අශ්වයෙක් සෝනනම් අශ්වයා හාසමාන ගෝචර ඇත්තේද, සුහණු නම් අශ්වයාද එබඳු මැයි.