352. තොප හැමදෙනා විසින් කෑලගස දක්නා ලදී. මෙහි කුමකට සැකකරව්ද? සියලු තන්හි රථාචාර්යා තොප විසින් නොම විචාරණ ලද්දේය.
353. එපරිද්දෙන් සියලු විදර්ශනා නුවණින් යම් කෙනෙකුන් ධර්මයෝ නොදන්නා ලද්දාහුද, ඔහු ඒකාන්තයෙන් කෑල ගසෙහි සැක ඉපදවූ සහෝදරයන් සතරදෙනා මෙන් ධර්මයන්හි සැක කෙරෙත්.
8. කිංසුකොපම ජාතකය.
354. සාලකය; තෝද එකම පුත්‍රවූයේ වන්නෙහිය. අපගේ කුලයෙහි අධිපතිවූවෙක් වන්නෙහි ගසින් බැසපිය, දැන් එව, ගෙට යන්නෙමු.
355. තා විචාරමි. මා හෘදයෙහියයි හෙවත් තට සුදුසු යයි සිතන්නෙහිද? යම්හෙයකින් මා හුණලීයෙන් ගැසුයෙහිද, එසේ හෙයින් තා හා නොඑමියි මේ පැසුනාවූ අඹ වනයෙහි සිත් අලවයි. තෝ කැමති පරිද්දෙන් ගෙට යව.
9. සාලක ජාතකය.
356. රාගාදී කෙලෙසුන් සංසිඳීම යයි කියන ලද ශීල සංයමයෙහි ඇලුනාවූ සීතලින් හටගත් බියෙන් පීඩිතවූ මේ තපස්වීතෙම සිටී. එබැවින් මේ තපස්වී තෙම මේ ගෙට ඇතුල්වේවා. සියලු සීතලද පීඩාද දුරු කෙරේවා.
357. මේ කෙලෙස් සංසිඳීමය හික්මීමය ශීල සංයමය යන මෙහි ඇලුනාවූ ඍෂියෙක් නොවේ. වැලි කවරෙක්ද යත්, මේ තෙම ගස්වල අතු ගෝචර කොට ඇති ගිය ගිය තැන දූෂ්‍ය කරන්නාවූද, කෝප කරන්නාවූද, ලාමකවූ වඳුරෙකි. හෙතෙම ඉදින් මේ ගෙට වදී නම් මේ පන්සල් ගෙයද දූෂ්‍ය කරන්නේය.
10. කපි ජාතකය.
සිඞ්ගාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඉක්බිති රාජ සිගාලවර ද, සුනඛ ද, එසේම කොසිය ද, ඉච්ඡ ද, කාලඝස ද, ඉක්බිති දානවර සහ ඔට්ඨ ද, සාරථි ද, නැවත පවන ද, සිසිර හා කපි යයි දසයෙකි.
දුක නිපාතය නිමි.
වර්ග උද්දානය:
දළ්හ වර්ගය ද, ඉක්බිති සන්ථව වර්ගය ද, කල්‍යාණ වර්ගය ද, අසදිස සහ රුහක වර්ග ද, නතංදළ්හ වර්ගය ද, නැවත බීරණත්ථම්භක ද, කාසාව, උපාහන සහ සිගාල යන වර්ග දසය යි.