354. සාලකය; තෝද එකම පුත්‍රවූයේ වන්නෙහිය. අපගේ කුලයෙහි අධිපතිවූවෙක් වන්නෙහි ගසින් බැසපිය, දැන් එව, ගෙට යන්නෙමු.
355. තා විචාරමි. මා හෘදයෙහියයි හෙවත් තට සුදුසු යයි සිතන්නෙහිද? යම්හෙයකින් මා හුණලීයෙන් ගැසුයෙහිද, එසේ හෙයින් තා හා නොඑමියි මේ පැසුනාවූ අඹ වනයෙහි සිත් අලවයි. තෝ කැමති පරිද්දෙන් ගෙට යව.
9. සාලක ජාතකය.
356. රාගාදී කෙලෙසුන් සංසිඳීම යයි කියන ලද ශීල සංයමයෙහි ඇලුනාවූ සීතලින් හටගත් බියෙන් පීඩිතවූ මේ තපස්වීතෙම සිටී. එබැවින් මේ තපස්වී තෙම මේ ගෙට ඇතුල්වේවා. සියලු සීතලද පීඩාද දුරු කෙරේවා.
357. මේ කෙලෙස් සංසිඳීමය හික්මීමය ශීල සංයමය යන මෙහි ඇලුනාවූ ඍෂියෙක් නොවේ. වැලි කවරෙක්ද යත්, මේ තෙම ගස්වල අතු ගෝචර කොට ඇති ගිය ගිය තැන දූෂ්‍ය කරන්නාවූද, කෝප කරන්නාවූද, ලාමකවූ වඳුරෙකි. හෙතෙම ඉදින් මේ ගෙට වදී නම් මේ පන්සල් ගෙයද දූෂ්‍ය කරන්නේය.
10. කපි ජාතකය.
සිඞ්ගාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඉක්බිති රාජ සිගාලවර ද, සුනඛ ද, එසේම කොසිය ද, ඉච්ඡ ද, කාලඝස ද, ඉක්බිති දානවර සහ ඔට්ඨ ද, සාරථි ද, නැවත පවන ද, සිසිර හා කපි යයි දසයෙකි.
දුක නිපාතය නිමි.
වර්ග උද්දානය:
දළ්හ වර්ගය ද, ඉක්බිති සන්ථව වර්ගය ද, කල්‍යාණ වර්ගය ද, අසදිස සහ රුහක වර්ග ද, නතංදළ්හ වර්ගය ද, නැවත බීරණත්ථම්භක ද, කාසාව, උපාහන සහ සිගාල යන වර්ග දසය යි.
3. තික නිපාතය
1. සංකප්ප වර්ගය
358. කාම විතර්කයන්ගෙන් යුත්වූ රාග නැමති ජලයෙන් දෝනාලද විතර්ක නැමති ගලෙහි මුවහත් තබන ලද අලංකාර නොකිරීමෙන් යහපත් නොවූ හී වඩුවෙකු විසින් නොකරණ ලද.
359. කන් කෙළවර දක්වා ඇද නොහරණ ලද මොණර පියාපත් ආදීන් නොසාදන ලද සර්වාංගය දවන්නාවූ ඒ කෙලෙස් නැමැති ඊයෙන් හෘදය තුල විදින ලද්දේ වෙමි.
360. යම් හෙයකින් රුධිරය වෑහේද, එසේ විදි තැනකුදු නොදකිමි. ඉතාම නුනුවණින් සිත වඩනා ලදද, එසේ හෙයින් තුබූ මා විසින් දුක පමුණුවා ගන්නා ලදැයි” කීයේය.
1. සංකප්ප ජාතකය.
361. තල මිටකින් මා අත අල්වාගෙණ හුණ ලීයෙන් නුඹ මට ගැසීද, ඒ පහර අද දක්වා මාගේ සිතෙහි වේ.
362. බමුණ, යම්බඳුවූ මා අත අල්වාගෙන තුන් වරක් ගැසීද, යම් හෙයකින් ආයේද, එහෙයින් තාගේ ජීවිතයෙහි නොඇලෙහි යයි” සිතමි.
363. යම් ආර්යයෙක් තෙම නොකටයුතු කරන්නහු දඬුවමින් වළකයිද, නුවණැත්තෝ එය හික්මවීම පිණිසය. වෛර පිණිස නොවේ කියා දනිත්.”
2. තිලමුට්ඨි ජාතකය.
364. මේ මාණික්‍ය රත්න හේතුවෙන් මට ආහාරයද පානයද බොහෝ කොට ශ්‍රේෂ්ඨව උපදී. එය තට නොදෙමි. ඉක්මවා යාඥා කෙළේවෙහිය එසේහෙයින් තාගේ ආශ්රමයටද නැවත නොඑන්නෙමි.
365. මුවහත් තබනලද කඩුවෙන් යුක්ත අත් ඇති බාල පුරුෂයෙකු මෙන් මැණික්ගල මගෙන් ඉල්වමින් තැති ගැන්වූවෙහිය. තට එය නොදෙමි. අධික කොට යාඥා කෙළෙහිය. එහෙයින් තාගේ ආශ්රමයටද නැවත නොඑන්නෙමි.