5. චුල්ලසුතසෝම ජාතකය.
3275. නියම්ගම් වැසි ජනයාද මිත්රාමාත්යයන්ද පිරිස් වැස්සන්ද කැඳවා දන්වමි. මාගේ හිසෙහි නර කෙසක් හටගත්තේය. පින්වත්නි, මම දැන් පැවිදිවීම කැමති වන්නෙමියි. සුතසෝම නම් රජ තෙම කීයේය.
3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවැඩක් කියන්නෙහිද, මාගේ ලයෙහි අනින ලද හුලක්මෙන් කෙළෙහිය. ඔබගේ සත් සියයක් භාර්ය්යාවෝ වෙත්. ඔබ පැවිදිවූ කල්හි අනාථවූ ඔබගේ භාර්ය්යාවෝ කෙසේ නම් වන්නාහුදැයි (ඔවුන් අතුරෙන් එකෙක් ඇසුවේය.)
3277. මේ තරුණවූ භාර්ය්යාවෝ තම තමන්ගේ කටයුතු වලින් ප්රකට වන්නාහ. ඔව්හු අන්හිමියෙකු වෙතද යන්නාහ. මම ස්වර්ගයද පතන්නෙම් වෙමි. එහෙයින් පැවිදි වන්නෙමියි. රජතෙම කීයේය.
3278. දේවයෙනි, යම්හෙයකින් මා වැළපෙද්දී අපේක්ෂා රහිතව පැවිදිවන්නෙහිද, සුතසෝමය, එහෙයින් මම යම් බඳුවූ ඔබගේ මව්වීම්ද මෙය මාවිසින් නපුරුකොට ලබන ලද්දෙක්විය.
3279. දේවයෙනි, යම්හෙයකින් මා වැළපෙද්දී අපේක්ෂා නැතුව පැවිදි වෙහිද, එහෙයින් සුතසෝම නම් පුත්රය, මම යම් බඳුවූ තොප ප්රසූත කෙළෙම්ද මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වීයයි මව්බිසව කීවාය.
3280. දේවයෙනි, යම් හෙයකින් ජරාවට ගියාවූ අප නොබලා පැවිදි වෙහිද සුතසෝම නම්වූ පුත්රය, මේ කිනම් ස්වභාව ධර්මයෙක්ද කවර නම් ප්රව්රජ්යාවක් දැයි පියරජ තෙම ඇසීය.
3281. පුත්රය, ඔබගේ ලදරුවූ නොපැමිණි යොවුන් වයස් ඇත්තාවූ බොහෝවූද දරුවෝ වෙත්. මිහිරි වචන ඇත්තාවූ ඒ දරුවෝ ඔබ නොදක්නාහු දුකට පැමිණෙත්යයි සිතමියි පියරජතෙම කීයේය.
3282. ළදරුවූ නොපැමිණි යොවුන් වයස් ඇත්තාවූ මිහිරි වචන ඇති මාගේ මේ පුත්රයන් කෙරෙන්ද නුඹලා සියල්ලන්ගෙන්ද බොහෝ කාලයක් නමුත් සිට වෙන්වීම වන්නේයයි මහාසත්වතෙම කීයේය.
3283. දේවයන්වහන්ස, යම්හෙයකින් හඬන්නාවූ අප කෙරෙහි අපේක්ෂාවක් නැතිව පැවිදි වෙහිද එහෙයින් අප කෙරෙහි ඔබගේ ආදර සිත සිඳීගියේද, නොහොත් කරුණාවක් වත් නැද්දැයි ඒ භාර්ය්යාවෝ ඇසූහ.
3284. තොප කෙරෙහි මාගේ ආදර සිත සිඳී ගියේද, නොවෙයි. තොපකෙරෙහි මාගේ කරුණාවද ඇත්තේය. මම ස්වර්ගයද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදිවන්නෙමියි ඔවුන් අස්වැසීය.
3285. දේවයන් වහන්ස, යම්හෙයකින් මා වැළපෙද්දී අපේක්ෂාවක් නැතුව පැවිදි වෙහිද එහෙයින් යම්බඳුවූ ඔබට මම භාර්ය්යාවීම්ද, සුතසෝම රජ්ජුරුවෙනි, මාවිසින් මෙය නපුරුකොට ලබන ලද්දක් විය.
3286. දේවයන් වහන්ස, යම්හෙයකින් මාගේ කුස පිළිසිඳගත් දරුගර්භය අපේක්ෂා රහිතව පැවිදිවෙහිද එහෙයින් යම්බඳුවූ ඔබගේ මම භාර්ය්යාවීම්ද, සුතසෝම රජ්ජුරුවෙනි, මා විසින් මෙය නපුරුකොට ලබන ලද්දක්විය.
3287. දේවයෙනි, මාගේ කුසෙහිවූ දරුගර්භයතෙම මුහුකුරා ගියේ වෙයි. යම්තාක් එය ප්රසූත කරම්ද, ඒතාක් ඉවසුව මැනව, එකළාවූ මම වැන්දඹු නොකෙරේවා. පසුව දුක් දකිමියි අගමෙහෙසිය කියා වැළපුනාය.
3288. සොඳුර, තීගේ කුසයෙහිවූ දරුගර්භය මුහුකුරා ගියේයයි දනිමි. එබැවින් තී පුත්රයෙකු ප්රසූත කරව, අලාමකවර්ණවූ පුත්රයාද තීද හැර මම පැවිදි වන්නෙමියි මහ බෝසත්තෙම කීයේය.
3289. සොඳුරු චන්ද්රාදේවිය තී නොහඬව, ගිණිහිරිමල් බඳු ඇස් ඇත්තිය සොක නොකරව, උතුම් ප්රාසාදයට නැගෙව, අපේක්ෂාවක් නැතිව මම යන්නෙමියි කීයේය.
3290. මෑනියෙනි, කවරෙක් ඔබ කෝප කෙළේද, කුමක් හෙයින් හඬන්නෙහිද මා දෙස දැඩිව බලන්නෙහිද, වධ නොකට යුතු කවරෙකු නෑයන් බලා සිටියදීම නසම් දැයි වැඩි මහළු පුත්රතෙම ඇසීය.