17. චත්තාළීස නිපාතය
1. තෙසකුණ ජාතකය
“වෙස්සන්තර නම් පක්ෂිය තා විචාරමි. තට යහපතක් වේවා. රාජ්යය කරවනු කැමැත්තහු විසින් කවරනම් කටයුත්තක් කරණ ලද්දේ උතුම්වේදැයි රජතෙම ඇසීය.
“පියවූ කංස නම් බරණැස් රජතෙම බොහෝකලක් ප්රමාදවූයේ පෝෂ්ය කළාවූ පියතෙම අප්රමාදවූද පුත්රවූ මා ප්රශ්නයක් විචාළේයයි (වෙස්සන්තර නම් බකමූණු පක්ෂියා කීයේය.)
“පියරජුනි, රජතෙමේ පළමුවෙන්ම මුසාවාදයද දෙවනුව ක්රෝධයද තුන්වෙනුව හාස්යයද හෙවත් ක්රීඩාසීලි භාවයද දුරුකරන්නේය. ඉන්පසු රාජ කෘත්යයන් කරවන්නේය. එය රජුන්ගේ වෘත්තයයි පුරාතනයෝ කීහු.
“පියාණෙනි, පෙර කරණලද්දාවූ යම් කර්මයක් නිසැකයෙන් ඔබ තැවෙන්නේද, රාගයෙන් රත්වූයේද ද්වේෂයෙන් දූෂිතවූයේද, යම් කර්මයක් කෙළේනම් ඉන්පසු නැවත ඒ කර්මය නොකරන්නේය.
“මහරජ ප්රමාදවූ රජහුගේ රාජ්යයෙහි සියලු සම්පත් විනාශ වෙත්. රජහුට එය දුකයයි කියනු ලැබේ.
“පියාණෙනි, ශ්රී කාන්තාවද කාලකන්නීද යන දෙදෙනා විචාරණ ලද්දාහු මෙය කීහ. ඔවුන්ගෙන් ශ්රී තොමෝ උට්ඨාන වීර්ය්ය ඇති අනුන්ට ඊෂ්ය_ා නොකරන්නාවූ පුරුෂයා කෙරෙහි මම සිත් අලවන්නෙමියි කීවාය.
“මහරජ, සම්පත්ති චක්රය බිඳින්නාවූ කාලකන්නි තොමෝ අනුන්ට ඊෂ්ය_ කරන්නාවූ නපුරු සිත් ඇත්තාවූ යහපත් කර්මයන් දූෂ්ය කරන්නාවූ පුරුෂයා කෙරෙහි සිත් අලවයි.
“මහරජ, ඒ නුඹ සියල්ලන් කෙරෙහි හොඳ හිත් ඇත්තෙක් වෙව, සියල්ලන් රකින්නෙක් වෙව, කාලකන්නිය දුරුකරව. ශ්රී කාන්තාවට වාසස්ථාන වෙව,
“කශීරටට අධිපතිවූ මහරජ, ලක්ෂමී සහිතවූ ධෛර්ය්යයෙන් යුක්තවූ මහත් බවට පැමිණියාවූ පුරුෂතෙම වනාහි සතුරන්ගේ මුලද අගද සිඳියි.
“මහරජ, ශක්රතෙමේද වනාහි උට්ඨාන වීර්ය්යයෙහි ප්රමාද නොවේ. ඒ දෙව් රජතෙම කුශල කර්මයෙහිම ධෛර්ය්ය කොට අප්රමාදව උට්ඨාන වීර්ය්යයෙහි සිත උපදවයි.
“ගන්ධර්වයෝද බ්රහ්මයෝද දෙවියෝද යන මොවුහු එබඳු සක්දෙව් රජුට සමාන ජීවිකා ඇත්තෝ වෙත්. උට්ඨාන වීර්ය්ය ඇත්තාවූ ප්රමාද නොවන්නාවූ ඔහුට දේවතාවෝ අනුව පවතිත්.
“පියාණෙනි, ඒ නුඹ අප්රමාදව ක්රොධ නැතුව කටයුතු කරව, රාජකෘත්යයන්හි උත්සාහද කරව, අලස තැනැත්තේ සැපය නොලබයි.
“මහරජ, ඒ මා කී ප්රශ්නයෙහිම ඒ වෘත්ත පදයෝ වෙත්. මෝතොමෝ අනුශාසනාව වේ. මිත්රයන් සුවපත් කරන්ටද සතුරන්ට දුක් වීමටද මෙය සමර්ථවේයයි වෙස්සන්තරතෙම කීයේය.
“ඛත්ත නම් තැනැත්තහුට නෑවූ කුණ්ඩලිණිය මා විසින් විචාරණ ලද ප්රශ්නය කියන්ට හැක්කේයයි හඟින්නෙහිද, රාජ්යය කරවනු කැමැත්තහු විසින් කවර නම් කටයුත්තක් කරණලද්දේ උතුම්වේදැයි රජතෙම ඇසීය.
“පියාණෙනි, යම් පද දෙකක සියලු අර්ථ සමූහය පිහිටියේ ඒ මේ කරුණු පද දෙකක්ම වෙත්. නොලබන ලද්දහුගේ යම් ලාභයක් වේනම් එයද ලදදෙය රැකගැණීමද යන දෙකයි.
“පියාණෙනි, දූ කෙළියෙහි නොයෙදෙන්නාවූ කෛරාටික නොවූ සුරාසොඬ නොවූ ඔබ සතු ධනය නොනසන්නාවූ අර්ථයට දක්ෂවූ ප්රාඥවූ ඇමතියන් භාණ්ඩාගාරිකාදී කටයුතුවල යෙදියයුතු බව දැනගණුව.
“පියාණෙනි, ඔබගේ යම් ධනයකුත් වන්නේ නම්, යම් ඇමතියෙක් එය රක්නේද, රථය සංග්රහ කරන්නාවූ සාරථියෙකු වැනිවූ හෙතෙම ඔබගේ කටයුතුවල යෙදවීම කරව.
“මොනවට සංග්රහ කරණලද ඇතුලත්හිවූ ජනයා ඇතුව තෙමේ වස්තුව කියා තැන්පත් කිරීමද ණය දීමද කරව, අනුන් ලවා නොකරව.
“අය වැය දෙක තෙමේ දැනගන්නේය. කළ නොකළ දෙය තෙමෙ දැන ගන්නේය. නිග්රහ කටයුත්තට නිග්රහ කරන්නේය. උපකාර කළයුත්තාට උපකාර කරන්නේය.
“මහරජ, ඒ ඒ තන්හි යෙදුනාවූ අධාර්මිකවූ ඔව්හු ධනයද රටද නොනසවූයි දනව් වැස්සන්ට තෙමේ අර්ථයෙන් අනුශාසනා කරව.
“වහා කටයුතු කරන්නෙක් නොවෙව, අනුන් ලවා කරවන්නෙක් හෝ නොවෙව, වහා කරණලද කටයුතු ඇති අඥානතෙමේ පසුතැවිල්ලට පැමිණේ.
“පියාණෙනි, ඔබගේ සිත කුශලය ඉක්මවා යන කල්හි අනුන්ගේ අකුශල කර්මයෙහි ඉතා දැඩිව කෝපයට පැමිණෙන ලදුව කටයුතු නොකරව, ක්රෝධයෙන් වනාහි බොහෝ සමෘද්ධවූ කුලයෝ අකුල බවට පැමිණියාහුය.
“පියාණෙනි, මම අධිපතිවෙමියි අනුන් අනර්ථයට නොබස්වව, ඔබගේ රාජ්යයෙහි ස්ත්රින්ටද පුරුෂයන්ටද දුක් ඉපදීමක් නොවේවා