3. අලම්බුසා ජාතකය
3175. “ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත්වූ ජයප්‍රාප්තවූ දෙවියන්ගේ පිතෘස්ථානයෙහි සිටියාවූ මහත්වූ ශක්‍ර තෙම සුධර්මා නම් දිව්‍ය සභාවෙහි පරීක්ෂාකොට දැන අලම්බුසා නම් දිව්‍යකන්‍යාවට මෙය කීයේය.
3176. “පුරුෂයන් ක්ලෙශයෙන් මිශ්‍රකරණ හෙයින් මිශ්‍රා නම්වූ ඍෂීන් පෙළඹවීමෙහි සමර්ථවූ අලම්බුසාවෙනි, ඉසිසිංග තාපසයා පෙළඹවීමට යවයි ශක්‍රයා සහිතවූ තව්තිසා වැසි දෙවියෝ තිට යාඥා කරත්.
3177. “එම්බා අලම්බුසාව වෘත්තයන්ගෙන් යුක්තවූද ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යා ඇත්තාවූද නිවන්මග ඇලුනාවූද ගුණයෙන් වැඩි සිටියාවූද මේ ඉසිසිංග තාපසතෙම යම්තාක් අප ඉක්මවාද, ඉන් පෙර ඔහුගේ දෙව්ලොවට එන මාර්ගයන් වළක්වයි.
3178. “දිව්‍ය රාජයාණෙනි, ඍෂීන් පෙළඹවීම පිණිස යවයි කිමෙක්ද ඔබ මටම කියන්නෙහිද, මේ දිව්‍ය ලෝකයෙහි මාම ඔබ දක්නෙහිද, අන්‍යවූද දිව්‍යප්සරාවෝ ඇත්තාහු නො වෙද්ද,
3179. “ශොක රහිතවූ නන්දන වනයෙහි මා වැනිවූද මට වඩා උතුම්වූද දිව්‍යප්සරාවෝ වෙත්. ඔවුන්ට මේ ගමන දවාරය වේවා. ඒ දිව්‍යප්සරාවෝද ඍෂීන් පෙළඹවීමට යෙත්වායි
3180. “ශොකරහිතවූ නන්දන වනයෙහි තී වැනිවූද තිට වඩා උතුම්වූද අන්‍යවූ දිව්‍යප්සරාවෝ වෙත්යයි ඒකාන්තයෙන්ම සැබවක් කියන්නෙහිය.
3181. “සියලු අංගයන්ගෙන් හොබනාවූ අලම්බුසාවෙනි, පුරුෂයෙකු වෙත ගියාවූ ඒ දිව්‍යප්සරාවෝ තී යම්බඳු පාරිචර්‍ය්‍යාවක් දන්නෙහි නම් මෙබඳු පාරිචර්‍ය්‍යාවක් නොදනිත්.
3182. “සුන්දරිය, තී ස්ත්‍රීන්ගෙන් උතුම්ද වෙහිය. තීම එහි යව, තිගේම වර්ණයෙන්ද රූප සම්පත්තියෙන්ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගෙනෙන්නෙහියයි
3183. “දෙව්රජහු විසින් යවනලද මම නොයන්නෙම්ද, නොවෙමි. එසේවුවත් මේ තාපසයාට ලංවන්ට භයවෙමි. තාපස තෙමේ වනාහි උග්‍රතේජස් ඇත්තේ වෙයි.
3184. “බොහෝ දෙනා ඍෂීන් පෙළඹවීමට ලංව මුළාවෙන් සසර දුකට පැමිණියාහු අපායටද පැමිණියාහුය. එහෙයින් මාගේ ලොමු ඩැහැගනිත් යයි අලම්බුසාව කීය.
3185. “කැමැතිවන්නාවූ ශරීරවර්ණ ඇති ක්ලේෂයෙන් පුරුෂයන් මිශ්‍රණය කරන්නාවූ අලම්බුසා නම් දිව්‍යප්සරා තොමෝ මෙය කියා ඉසිසිංග තාපසයන් මිශ්‍රණය කරන්ට කැමැත්තී ගියේය.
3186. “ඒ අලම්බුසා තොමෝද ඉසිසිංග තාපසයන් විසින් රක්නාලද, රත්කරව් ගසින් ගැවැසී ගත්තාවූ හාත්පස යොදුනක් පමණවූ ඒ වනයට වැද
3187. “උදෑසනම පෙරබත් කාලයෙහි ඉර උදාවන වේලෙහිම හමදිමින් ගිනිහල් ගෙයි සිටියාවූ ඉසිසිංග තාපසයන් වෙතට එළඹියේය.
3188. “විසිතුරුවූ වස්ත්‍රවලින් හා ආභරණවලින් යුක්තවූ අමුනනලද මිණි කොඬොල් ඇත්තාවූ තී විදුළියක් මෙන්ද ඕසධිතාරකාව මෙන්ද බබළන්නෙහිය, තී කවර නම් තැනැත්තියක්ද,
3189. “හිරුරැස් බඳු වර්ණ ඇති රන්වන් සඳුන් සුවඳ ඇති තී මනාවටවූ ඌරුයුග්ම ඇත්තීය. මහත්වූ මායා ඇත්තීය. ළදරුවයස් ඇත්තීය. මනොඥ දර්ශන ඇත්තීය.
3190. “තී කෘෂවූ මධ්‍ය ප්‍රදෙශ ඇත්තීය. මෘදුවූවාය. පිරිසිදු වූවාය. තීගේ පාදයෝ මනාව පිහිටියාහුය. තීගේ ගමන කැමැතිවිය යුත්තේය. තීගේ ඒ පාදයෝ මාගේ සිත පැහැර ගණිත්මය.
3191. “තීගේ පිළිවෙළින් හටගත්තාවූ ඌරු යුග්මය ඇත් සොඬට බඳු උපමා ඇත්තේය. තීගේ මනාවූ උකුල රන්පෝරුවක් මෙන් විශාලය.
3192. “තීගේ මනාව පිහිටියාවූ නාභිය, නීලොත්පල කර්ණිකාවක් බඳුය. කළු අඳුන් වලින් පිරුනාක්මෙන් දුරට දක්නා ලැබේ.
3193. “දෙපරිදිවූ ලෙහි හටගත්තාවූ නැටිරහිතවූ මනාව පැන නැගුනාවූ පහස් දරන්නාවූ අප්‍රකටවූ කුඩා ලබු සමානවූ හෙවත් තිඹිරිගෙඩි දෙකක් වැනිවූ පියවුරුවෙත්.
3194. දික්වූ මිහිඟු බෙරයකට සමාන බැබලීම් ඇති ග්‍රිවය ඒනි මුවෙකුගේ ග්‍රීවය වැනිය. මනහරවූ දෙතොල් දිවට බඳු පැහැයෙන් යුක්තය.
3195. “උඩුකුරුවූ අක් ඇත්තාවූද යටිකුරුවූ අක් ඇත්තාවූද දැහැටිවලින් පිරිමදින ලද්දාවූ දන්තයෝ නිර්දෝෂවූ හනුමස් කෙළවර හටගත්තාහු වෙත්. තීගේ දත් දැකුම් කටයුතුවෙත්.
3196. “කළුවූ හුනිද ඇටබඳු ලේවන් කෙළවර ඇති දික්වූද මහත්වූද තීගේ ඇස් දැකුම්කළු වෙත්.
3197. “ඉතා දික් නොවූ මනාව මට කරණ ලද්දාවූ රන්පනාවෙන් පීරණ ලද්දාවූ තීගේ හිසෙහි හටගත්තාවූ කේශයෝ සඳුන් සුවඳින් යුක්තවෙත්.
3198. “යම්තාක් සීසාන්නාහු ගෙරි රක්නාහුවෙද්ද, වෙළඳුන්ගේද යම් නිෂ්පත්තියක්වේද, සංයම ඇත්තාවූ තපස් රකින්නාවූ ඍෂීන්ගේ යම් පරාක්‍රමයක්වේද,