2. සරභංග ජාතකය
“අලංකාරයෙන් සැරසුනා වූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ හඳනාලද මනා වස්ත්‍ර ඇත්තාවූ වෛදූර්‍ය්‍ය මැණික්වලින්ද මුතුවලින්ද සැරසූමිට ඇති කඩුවලින් යුක්තවූ රථෙශ්වරවූ ඔබ මෙහි සිටින්නහුය. ඒ ඔබ කවරහුද, මනුෂ්‍ය ලෝකයෙහි ඔබ කෙසේනම් හඳුනත්දැයි (අනුශිෂ්‍ය නම් තාපසතෙම ඇසූයේය.)
“මම අට්ඨක නම් වෙමි. මෙතෙම වනාහි භීමරථ නම් වේ. ප්‍රකටවූ මෙතෙම වනාහි කාලිංග රාජ නම්වේ. ස්වාමීනි, අපි මනාව සංයමවූ ඍෂීන් දැකීම පිණිස මෙහි පැමිණියෙමු. සරභංග ශාස්තෘවරයාගෙන් ප්‍රශ්න අසන්ට ආයෙමුයි (ඒ රජවරු කීහ.)
“අන්තරීක්ෂ නම්වූ අහසෙහි පසළොස්වක්හි අහස් මැදට පැමිණි චන්ද්‍රයා මෙන් සිටින්නෙහිය. මහත් ආනුභාව ඇති යක්ෂය, ඔබ විචාරමි. මනුෂ්‍ය ලෝකයෙහි ඔබ කෙසේ හඳුනත්දැයි (තාපසතෙම ඇසීය.)
“දෙවියන් අතර සුජම්පතීයයි යමෙකුට කියද්ද, මනුෂ්‍ය ලෝකයෙහි මඝවන්තුයයි ඔහුට කියත්. ඒ සක්දෙව් රජවූ මම මනා සංයම ඇත්තාවූ ඍෂින් දැකීම පිණිස අද මෙතනට පැමිණියේ වෙමියි ශක්‍රතෙම කීයේය.
“ස්වාමීනි, දුරසිට අප විසින් මහත් ආනුභාව ඇත්තාවූ ඍද්ධිගුණ වලින් යුක්තවූ ඍෂිවරු රැස්වූවාහුයයි අසන ලද්දාහ. ස්වාමීනි, මේ මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨවූ යම් තාපස කෙනෙක් වෙද්ද, ප්‍රසන්න සිත් ඇත්තෙම් ඒ තාපසවරුන් වඳිමියි (ශක්‍රතෙම කීයේය.)
“දහසක් නුවණැස් ඇති දිව්‍යරාජය, පැවිදිවූ බොහෝ කල් ඇති තාපසවරුන්ගේ ශරීරයෙන් පිටවූ ගන්ධය සුළඟින් හමායයි. එබැවින් මෙතැනින් ඉවත්වෙව, දිව්‍යරාජය, ඍෂීන් ගේ ගන්ධය, අපවිත්‍රවේයයි තාපසතෙම කීයේය.
“ස්වාමීනි, පැවිදිව බොහෝකල්වූ තාපස වරුන්ගේ කයින් ගිලිහුණු ගන්ධය සුලඟින් හමායේවා. මනා සුවඳ ඇත්තාවූ විසිතුරු මවක් මෙන්ද මල්මාලාවක් මෙන්ද අපි මේ ගන්ධය කැමැත්තෙමු. මේ ගන්ධයෙහි දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නොවෙත්යයි ශක්‍රතෙම කීයේය.
“පළමුව දානය දුන් බැවින් පුරින්දද නම්වූ භූතයන් අතර ජ්‍යෙෂ්ඨ බැවින් භූතපති නම්වූ පිරිවර සම්පත් ඇති හෙයින් යශස්සී නම්වූ දෙවියන්ට අධිපතිහෙයින් දේවානමින්ද නම්වූ පෙර ජාති වශයෙන් මඝ නම් ඇත්තාවූ සුජාතා නම් අසුර කන්‍යාවගේ ස්වාමි බැවින් සුජම්පතී නම්වූ දෙවියන්ගේ සිත් අලවන බැවින් දේවරාජ නම්වූ අසුර සමූහයා මඩින්නාවූ ඒ ශක්‍රතෙම ප්‍රශ්න අසන්ට අවකාශ බලාපොරොත්තු වෙමුයි
“මෙහි උන්නාවූ මේ පණ්ඩිතයන් අතුරෙන් කවරෙක් නම් රජවරු තුන්දෙනාගේද සක් දෙව් රජහුගේද සියුම්වූ ප්‍රශ්න අසනලද්දේ ප්‍රකාශ කරන්නේදැයි (අනුශිෂ්‍ය නම් තාපසතෙම ඇසීය.)
“යශ පිරිවර ඇත්තාවූ උපන් කාලයෙහි පටන් මෙවුන් දමින් වැළකුණාවූ රජහුගේ ආචාර්‍ය්‍ය පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ මනා හික්මුණු ස්වභාව ඇති ශරභංග නම් මේ යම් ඍෂීවරයෙක්වේද, හෙතෙම ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නේයයි (ඍෂි සමූහයා කීයේය.)
“කොණ්ඩඤ්ඤ ගොත්‍ර ඇති ඍෂීන්වහන්ස, ප්‍රශ්න විසඳනු මැනව. යහපත් ස්වභාව ඇත්තාවූ ඍෂීහු ඔබට යාඥා කරත්. කොණ්ඩඤ්ඤතුමනි, මේ ප්‍රශ්න විසඳීමෙහිවූ බර නුවණින් වැඩසිටියහුට පැමිණෙයි යන යමක් වේද මෙතෙම මිනිසුන් අතර ස්වභාව ධර්මයවේයයි (අනුශිෂ්‍යතෙම කීයේය.)
“පින්වත්නි, කරණලද අවකාශ ඇත්තෝ යම්කිසි ප්‍රශ්නයක් සිතින් කැමතිවනලද නම් එය විචාරත්වා. මම වනාහි මෙලොවද තෙමේ නුවණින් දැන තොපට ඒ ඒ ප්‍රශ්නය කියන්නෙමියි (සරභංග තාපසතෙම කීයේය.
“ඉක්බිති අර්ථ දක්නාසුළුවූ පෙරටුව දන් දුන්හෙයින් පුරින්දදවූ මඝවන්තු නම් ශක්‍රතෙම යමක් සිතින් කැමතිවන ලද්දේවීද, ඒ පළමුවන ප්‍රශ්නය විචාළේය.