9. සොමනස්සජාතකං
ස්වාමීනි, කවරෙක් ඔබ වහන්සේට හිංසා කෙරේද, ආක්‍රොෂ කෙරේද, කුමකට දොම්නස් වූයේ නොසතුටු වූයේ ශොක කරන්නෙහිද, කවරෙකුගේ අද මව්පියෝ හඬාවැළපෙද්ද, කවරෙක් නම් අද දඬුවම් කරණ ලද්දේ භූමියෙහි ශයනය කෙරේදැයි, රේණු රජතෙම කීයේය.
දෙවයන් වහන්ස, ඔබවහන්සේගේ දැකීමෙන් සතුටුවූයේ වෙමි. රජ්ජුරුවෙනි, ඔබ බොහෝ දවසකින් දකිමි. රේණු නම් දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පුත්‍රයා විසින් අසපුවට ඇතුල්ව අහිංසකවූ මම වෙහෙසන ලද්දේ වෙමියි කූටජටිලයා කීයේය.
කඩු බඳනාලද දොරටුපාලයෝ යෙත්වා, චෝර ඝාතකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස නම් කුමාරයා සිඳ උතුම්හිස ගෙණ එත්වායි රජ අණ කෙළේය.
යවන ලද්දාවූ රජහුගේ දූතයෝ කුමාරයාට මෙය කීවාහුය. එම්බා රාජකුමාරය, රජහු විසින් හැරදමන ලද්දේවෙහිය. එහෙයින් ඔබ වධයට පැමිණියේ වෙහිය.
ඒ රාජපුත්‍ර තෙමේ වැළපෙමින් ඇඟිලි දශයක් ඇති ඇඳිළි බැඳගෙණ මමද රජහු දක්නට කැමැත්තෙමි. ජීවත් වන්නාවූ මා ගෙණගොස් රජහට දක්වව්යයි කීයේය.
ඒ දූතයෝ ඒ කුමාරයගේ ඒ වචනය අසා රජහට පුත්‍රයා දැක්වූවාහුය. පුත්‍රතෙමේද පියා දැක දුරදීම මෙසේ කීයේය.
මහරජ්ජුරුවන් වහන්ස, කඩු බඳනා ලද දොරටු පාලයෝ ආවාහුය, මා නසන්ට චොරඝාතකයෝ ආවාහුය, මෙහි මාගේ කවර නම් අපරාධයෙක් ඇත්තේදැයි දැන් මා විසින් අසන ලද්දේ මේ කාරණය මට කියවයි කුමාරයා කීයේය.
සවසද උදයද දියට බැසීමකරයි. හැම කල්හි අප්‍රමාදව ගිනිපුදයි. ඒ එබඳුවූ සංයමවූ බ්‍රහ්මචාරීවූ තාපසයන්ට කුමක් හෙයින් නුඹ ගෘහපතියායයි කීයෙහිදැයි ඇසීය.
දෙවයන් වහන්ස, තල්ද අලමුල්ද ගෙඩිවර්ගද අනෙක ප්‍රකාරවූ පරිග්‍රහ වස්තු මොහුට ඇත්තාහ. ඒ වස්තූන් රකියි. අප්‍රමාදව ආරක්ෂාකෙරෙයි. එහෙයින් මේ බ්‍රාහ්මණ තෙමේ ගෘහපති නම් වේයයි කුමාරතෙම කීයේය.
එම්බා කුමාරය, මොහුට අනෙකප්‍රකාරවූ අයිති වස්තු ඇත්තාහ. ඒ වස්තූන් රකියි. අප්‍රමාදවූයේ ඒ වස්තූන් ආරක්ෂා කෙරේ. එහෙයින් බ්‍රාහ්මණතෙම ගෘහපති නම් වේයයි මෙය සැබවක්ම කියන්නෙහිය.
රැස්වූ පිරිසෙහි වූවාහුද නියම් ගම්වැස්සන් සහිතවූ දනව් වැස්සෝද සියල්ලෝ මාගේ වචනය අසත්වා. අඥානවූ මේ රජතෙම අඥානවූ තව්සාගේ වචනය අසා නිකරුනේ මා මරවායයි කීයේය.
දැඩිවූ මුල ඇතිව මහත්ව හටගත් කල්හි අතුපතර හටගත්තාවූ හුණපඳුර වෙන්කොට ඇදගත නොහැක්කේය. මහරජ, ඔබගේ පා වඳිමි. දෙවයන් වහන්ස, මට අවසර දුනමැනව, මම පැවිදි වන්නෙමියි කීයේය.
එම්බා කුමාරය, මහත් ප්‍රයෝජන ඇත්තාවූ සම්පත් අනුභව කරව, සියලු එෛශ්චර්‍ය්‍යයද තොපට දෙමි. අදම නුඹ කුරුරටවාසීන්ට රජවෙව, පැවිදි නොවෙව, ප්‍රව්‍රජ්‍යාව වනාහි දුක්වන්නීයයි රජතෙම කීයේය.
දෙවයන් වහන්ස, මෙහි ඔබගේ කිනම් සම්පතෙක් ඇත්තේද, මම මින් පෙර ජාතියෙහිම සිත්කළුවූ රූපවලින්ද ශබ්දවලින්ද, තවද රසවලින්ද සුවඳවලින්ද ස්පර්ශවලින්ද, දිව්‍යලෝකයෙහි සිත් අලවා වාසය කෙළෙමි.