10. චම්පෙය්‍ය ජාතකය.
240. “විදුළියක් මෙන්ද දවහත් තරුව මෙන්ද කවර නම් තැනැත්තියක්වූ තී බබළමින් සිටින්නෙහිද, දෙව්දුවක් හෝ වෙහිද, ගන්ධර්ව ස්ත්‍රියක් හෝ වෙහිද, තී මනුෂ්‍ය ස්ත්‍රියකැයි නොහඟිමියි උග්ගසෙන රජ තෙම ඇසීය.
241. “මහරජ්ජුරුවෙනි, මම දෙව්දුවක් නොවෙමි. ගන්ධර්ව ස්ත්‍රියක්ද නොවෙමි. මනුෂ්‍ය ස්ත්‍රියක්ද නොවෙමි. ස්වාමීනි මම නාගකන්‍යාවක් වෙමි. යම්කිසි කටයුත්තක් සඳහා මෙහි ආමියි කීය.
242. “එම්බා නාගකන්‍යාව විභ්‍රාන්ත සිත් ඇත්තී කිපුනාවූ ඉන්ද්‍රියයන් ඇත්තීවෙහිය. තොපගේ ඇස්වලින් කඳුළුධාරාවෝ වැගිරෙත්. තොපගේ කිනම් වස්තුවක් නැතිවූයේද, කුමක් වනාහි පතමින් මෙහි ආවාදැයි එබැවින් එය මට කියවයි රජ තෙම කීයේය.
243. “මහරජ්ජුරුවෙනි, යමෙකුට උග්‍ර තේජස් ඇත්තාවූ උරයෙන් ගමන්කරන්නෙකැයි කීවාහුද, ජනයෝ ඔහුට නාගයායයි කියත්. දිවිරැකීම ප්‍රයෝජනකොට ඇත්තාවූ පුරුෂයෙක් තෙම ඔහු අල්වාගත්තේය. ඒ නාගයා බන්ධනයෙන් මුදාහරිනු මැනව, මේතෙම මාගේ ස්වාමියායයි කීවාය.
244. “එම්බා නාගකන්‍යාවෙනි, බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්තවූ මේ නාගතෙම මේ වනිබ්බක පුරුෂයාගේ අත්පත් වීමට කෙසේ නම් පැමිණියේද, මොහු විසින් ගන්නාලද නාගයා කෙසේ දනිමුද, ඒ කාරණය මට කියවයි කීයේය.
245. “බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්තවූ ඒ නාගතෙම එසේ වනාහි නුවරද හළු කරන්නේය. නාගතෙමේ ධර්මයම ගරුකරන්නේවේ. එහෙයින් ඒ දුක ඉවසා තපස්හී වීර්‍ය්‍යයම කෙරේයයි කීයේය.
246. “මහරජ, මේ නාගරජතෙම තුදුස්වක් පොහොයද පසළොස්වක් පොහොයද සතරමංසන්ධියෙක්හි පෙහෙව වාසය කරයි. ජීවිකාව ප්‍රයෝජනකොට ඇති පුරුෂයෙක් තෙම ඔහු අල්වාගත්තේය. ඒ නාරජ බන්ධනයෙන් මුදනු මැනව, මෙතෙම මාගේ ස්වාමියා යයි කීවාය.
247. “අමුනනලද මිණිකොඬොල් ඇති ජලය ගෘහ සයන කොට ඇත්තාවූ සොළොස් දහසක් ස්ත්‍රීහුවෙත්. ඒ ස්ත්‍රීහුද ඔහු සරණකොට ගියාහුය.
248. “ගම්වරයෙන්ද ස්වර්ණ නිෂ්කයෙන්ද ගවයන් සියගණන් දීමෙන්ද සැහැසිකමින් නොව ධර්මයෙන් මුදනු මැනව, මුදාහරිනලද ශරීර ඇති උරගතෙම හැසිරේවා පින් කැමැත්තේ බන්ධනයෙන් මුදාවායි කීවාය.
249. “ගම්වර දීමෙන්ද ස්වර්ණනිෂ්ක දීමෙන්ද ගවයන් සිය ගණන් දීමෙන්ද, සැහැසිකමින් නොව ධර්මයෙත් මුදමි. මුදා හරිනලද ශරීර ඇති උරගතෙම හැසිරේවා, පින් කැමැත්තේ බන්ධනයෙන් මුදාවා.
250. “වැදිපුත්‍රය, ස්වර්ණ නිෂ්ක සියයක්ද මහත්වූ මිණි කොඬොලක්ද සිව්පසින් උස්වූ දියබෙරලිය මල් බඳු පැහැ ඇති පර්‍ය්‍යංකයක්ද,
251. “සමාන ගුණ ඇති භාර්‍ය්‍යාවන් දෙදෙනක්ද වෘෂභයෙක්ද ගවයන් සියයක්ද දෙමි. මුදාහරිනලද සිරුර ඇති උරගතෙමේ හැසිරේවා පින් කැමැත්තේ බන්ධනයෙන් මුදාවායි රජතෙම කීයේය.