8. හල්ලාටියජාතකං.
පෙර බරණැස භල්ලාටිය නම් රජෙක් වූයේය. ඒ රජතෙම රාජ්යය හැර මුවදඩයමට ගියේය. මනාව පිපියාවූ කිඳුරන්ගෙන් ගැවසීගත්තාවූ ගන්ධමාදන නම් උතුම් පර්වතයට ගියේය.
හෙතෙම සුනඛ සමූහයාද වළක්වා දුනු හියවුරුද බහා තබා වචනයක් කියනු කැමැත්තේ කිඳුරෝ යම්තැනෙක සිටියාහුද, එතනට එළඹියේය.
පින්වතුනි, හෙමන්ත අවසානයෙහි මේ හේමවත නම් ගංඉවුරෙහි සිටියාහු නිබඳ කුමක් කථාකරන්නහුද, මිනිසුන්ගේ ශරීර බඳු ශරීර ඇත්තවුනි. තොපගෙන් විචාරමි. තොපි මනුෂ්ය ලෝකයෙහි කෙසේ නම් දනිද්දැයි රජතෙම ඇසීය.
සබඳ වැද්දාණෙනි, අපි මේ මල්ය පර්වතයද, පණ්ඩරක නම් පර්වතයද, ත්රිකූට නම් පර්වතයද, සිහිල් දිය ඇති ගංගාවන්ද අනුව හැසිරෙමු මිනිසුන් හා සමානවූ මෘගයෝවූ අපි කිං පුරුෂයෝයයි දනිත්යයි කිඳුරී කීවාය.
මිනිසුන් හා සමාන සිරුරු ඇත්තනි, ඉතා දුකට පැමිණියාක් මෙන් වැළපෙන්නහුය. ප්රියාව විසින් ප්රියතෙම වැළඳගන්නා ලද්දේද විය. මේ වනයෙහි නොසතුටුවූවාහු කුමකට හඬව්දැයි තොප විචාරමි.
මිනිසුන්ට සමාන ශරීරවර්ණ ඇත්තෙනි, ඉතා දුක් ස්වභාවයෙන් වැළපෙන්නාහුය. ප්රියාව විසින් ප්රියතෙම වැළඳගන්නා ලද්දේදවිය. මේ වනයෙහි නොසතුටුවූවාහු කවර කරුණකින් වැළපෙන්නහුදැයි තොප විචාරමි.
මිනිසුන්ට බඳු ශරීරවර්ණ ඇත්තෙනි, ඉතාදුක් ස්වභාවයෙන් හඬන්නහුය. ප්රියාව විසින් ප්රියතෙම වැළඳ ගන්නා ලද්දේවිය. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු වූවාහු ශොකවම්දැයි තොප විචාරමියි රජතෙම කීයේය.
සබඳ වැද්දාණෙනි, අපි නොකැමැත්තාහු ඔවුනොවුන් සිහිකරන්නාහු එක් රැයක් වෙන්ව වාසය කෙළෙමු. ඒ එක රාත්රිය අනුව තැවෙන්නාවූ අපි එබඳු රාත්රියක් නැවත නොපැමිණේවායි ශොක කරමු.
මිනිසුන්ට බඳු ශරීරවර්ණ ඇත්තෙනි, තෙපි යම් මේ එක රැයක් නැසුනාවූ ධනය හෝ පරලොව ගියාවූ පියා හෝ අනුව තැවුනහුද, කෙසේ නම් වෙන්ව වාසය කළහුදැයි තොප විචාරමි.
වහා බස්නා දිය පහර ඇති නොයෙක් ගස්වලින් වැසුනාවූ පර්වත දෙකක් අතරින් බස්නාවූ යම් මේ ගඟක් දක්නෙහිද, මාගේ ප්රියතෙම මාද පසුපස්සේ එන්නීයයි හඟිමින් වර්ෂාකාලයෙහි ඒ ගඟ එතෙර කෙළේය.
මම වනාහි පිපුනාවූ අඟුන මල්ද යොහොඹු මල්ද සත් පෙති දෑසමන්ද සීනිද්දද නෙලීමි. මාගේ ප්රිය තෙමේද මල් මාලාබර ඇත්තෙක් වන්නේය. මමද මල්මාලා ඇතුව ඔහු වෙත එළඹෙන්නෙමියි.
තවද මම රත්කරව්ද ඇසළද පළොල්ද නිකමල්ද කඩාරැස් කෙළෙමි. මාගේ ප්රිය තෙමේද මල්බර ඇත්තෙක් වන්නේය. මමද මල් මාලා ඇත්තී ඔහුවෙත එළඹෙන්නෙමි කියායි.
තවද මම මනාව පිපියාවූ සල්ගසක මල් නෙලා මාලාවක් කෙළෙමි. මාගේ ප්රිය තෙමේද මල්බර ඇත්තෙක් වන්නේය මමද මාලා ඇත්තී ඔහුවෙත එළඹෙන්නෙමියි කීවාය.