7. සත්තිගුම්බ ජාතකය
2487. “පඤ්චාල දෙශවාසීන්ගේ රථ ශ්‍රේෂ්ඨවූ මුවදඩයම් කරන්නාවූ මහරජතෙම සෙනග සමග නික්මුනේ සමූහයාගෙන් වෙන්ව වනයට පිවිසියේය.
2488. ඒ රජතෙම ඒ වනයෙහි සොරුන් විසින් කරණ ලද කුටියක් දුටුවේය. ඒ කුටියෙන් නික්ම අවුත් ගිරවෙක් රෞද්‍ර වචන කියයි.
2489. අශ්ව වාහනයෙන් යුක්තවූ මනා මටවූ කුණ්ඩල ඇති රක්තවර්ණ නළල් පටක් ඇති තරුණවූ පුරුෂතෙම දහවල් සූර්‍ය්‍යයා බබළන්නාක් මෙන් බබළයි.
2490. දැන් මෙබඳු මධ්‍යාහ්ණයෙහි රියැදුරු සහිත රජ තෙම නිදන ලද්දේය. එබැවින් අපි මොහුගේ ආභරණ සියල්ල බලාත්කාරයෙන් ගනිමු.
2491. රාත්‍රියෙහිදු දැනුදු රහස්ව රියැදුරු සහිත රජතෙමේ නිදන ලදී. මොහුගේ වස්ත්‍රද මිණිකොඩොල්ද ගෙණ මොහු මරා කොළ අතුවලින් වසාදමමුයි සත්තිගුමබ නම් ගිරවා පතිකෝලම්බ නම් සොරාට කීයේය.
2492. එම්බා සත්තිගුම්බය, උමතු ස්වභාව ඇත්තෙකු මෙන් තෝ කුමක් කියන්නෙහිද, ඇවිලෙන ලද ගින්නක් මෙන් රජවරු ලංවිය නොහැක්කාහුමයයි සොරා කීවේය.
2493. එම්බා පතිකෝලම්බය, තෝ මත්වූයේ මහත්වූ ගර්ජනා කරන්නෙහිනොවේද, මාගේ මව නග්නව සිටිකල්හි කිමෙක්ද, නුඹ සොරකම පිළිකුල් කරන්නෙහිදැයි සත්තිගුම්බනම් ගිරවා ඇසීය.
2494. යහළු සාරථිය, වහා නැගිටුව, රථය යොදව, මේ පක්ෂීහු මට රුචි නොවෙත්. අනික් අසපුවකට යමුයි රජ තෙම කීවේය.
2495. මහරජ, බලවත් අසුන් යොදන ලද්දාවූද රථය තෙම යොදනලදී. මහරජ, එහි නගිනු මැනව, අනික් අසපුවකට යමුයි රියැදුරු කීයේය.
2496. මේ අසපුවෙහි වාසය කරන්නාවූ යම් සොරුවෙද්ද මේ සියල්ලෝ කොහිගියාහුද, ඒ සොරුන්ගේ නොදැක්මෙන් මිදුනාවූ මේ පඤ්චාල රජතෙම යන්නේය.
2497. දුනු ගණිව්, අඩයටිද තෝමරද ගණිව්. මේ පඤ්චාල රජතෙම යන්නේය. ජීවත්වන්නාවූ ඔහු තොපි මුදා නොහරිව්යයි සත්තිගුම්බයා කීයේය.
2498. ඉක්බිති අන්‍යවූ ලේවන්තුඩ ඇති ගිරවෙක්තෙම මහරජ, ඔබට යහපත් ඊමක්වේවා. තවද ඔබගේ අප සමීපයට පැමිණීම යහපත කියා පිළිගෙණ සතුටු වූයේය
2499. මෙහි පැමිණියාවූ ඔබ මෙහි අධිපති වෙහිය. මෙහි කැමති යමක් ඇත්නම් ඒ කියව, තිඹිරි ගෙඩිද මොර ගෙඩිද, මී ගෙඩිද, එරමිණියද යන මොහු ඇත්තාහ.
2500. මහරජ, හොඳ හොඳ මේ කුඩා ගෙඩි වර්ග අනුභව කරව, මේ සිහිල් පැන්ද කඳුරැලියෙන් ගෙණෙනලදී. එහෙයින් මහරජ, ඉදින් ඔබ කැමැත්තෙහි නම් එය පානය කරව.