6. චූලහංස ජාතකය
2461. “රන්වන්වූ සිවිය ඇති රන්වන්වූ පැහැ ඇති සුමුඛ නම් හංසය, වක්වූ අවයව ඇති භයින් කම්පාවූ මේ හංසයෝ බැහැර යෙත්. තොපද ඒකාන්තයෙන් බැහැරයව,
2462. “මලපුඩුවෙහි අසුවූ හුදකලාවූ මා හැර ඒ මාගේ නෑ සමූහයෝ මා කෙරෙහි අපෙක්ෂාවක් නැත්තාහු යත්. හුදකලාවූ තොප කුමකට පසුබස්නෙහිද,
2463. “අහසට පැන යන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨවූ හංසය, පැනලාම යව. පාශයෙහි බැඳුනහු කෙරෙහි යහළු බවක් නැත්තේය. ලැබිය යුතු නිදුක්භාවය පිණිස උත්සාහය නො පිරිහෙළව, සුමුඛය, ඒකාන්තයෙන් බැහැර යවයි හංස රජ කීයේය.
2464. “ධ්‍රතරාෂ්ට නම් හංසරාජය, නුඹවහන්සේ දුකින් පෙළුනේයයි මම අත්නොහරිමි. මාගේ ජීවත්වීම හෝ මරණය හෝ නුඹවහන්සේ සමග වන්නේයයි සුමුඛතෙම කීයේය.
2465. “එම්බා සුමුඛය, මම නුඹවහන්සේ අත්නොහරිමි. තොප යමක් කීයෙහිද, මෙය ආචාරයෙන් යුත් ආර්‍ය්‍යයාගේ යහපත් වචනය වේ. මම වනාහී තා විමසමින් පැනයවයි යන මේ වචනය කීවෙමියි හංස රජතෙම කීයේය.
2466. “අහසෙහි හැසිරෙන්නාවූ පක්ෂිතෙමේ පියවර නොතැබීමෙන් අහසෙහි පියවරකොට ගමන්කරයි. හංසයන් අතුරෙන් ඉතා උතුම්වූ එබඳුවූ නුඹ දුරදීම මේ මළපුඩුව දැන නොගන්නේදැයි වැදිතෙම ඇසීය.
2467. “යහළු වැදිපුත්‍රය, යම්කලෙක පිරිහීමක්වේද, එකල්හි පුරුෂතෙම ජීවිතය විනාශයට පැමිණීමේ දැළටද, පුඩුවටද ලංවුවත් නොදනීයයි හංසරජ කීයේය.”
2468. රන්වන්වූ සිවිය ඇති රන්වන් පැහැඇති පක්ෂිය, වක්වූ අවයව ඇති භයින් කම්පාවූ මේ හංසයෝ බැහැර යෙත්. ඔබ පමණක් පසුබසින්නෙහිය.
2469. වක්වූ අවයව ඇති මේ පක්ෂීහු අනුභව කොටද පානය කොටද අපේක්ෂාවක් නැත්තාහු බැහැරයෙත්. හුදකලාවූ නුඹම මොහු ඇසුරු කරන්නෙහිය.
2470. මිදුනාවූ නුඹ පාශයෙහි බැඳුනාවූ මොහු ඇසුරු කෙළෙහිය. මේ පක්ෂිතෙම ඔබට කවරෙක්වේද, පක්ෂීහු මොහු හැරයෙත්. කුමක් හෙයින් හුදකළාවූ නුඹ පසු බසින්නෙහිදැයි වැදිතෙම ඇසීය.
2471. එම්බා වැදිපුත්‍රය, මේ පක්ෂිතෙම මාගේ රජවෙයි. මිත්‍රයාද වෙයි. මාගේ ප්‍රාණය හා සමවූ යහළුවාදවේ. ජීවත් වන කාලයාගේ කෙළවර දක්වා මම ඔහු නොමහරින්නෙමියි සුමුඛතෙම කීයේය.
2472. පින්වත් හංසය, යම්බඳුවූ නුඹ වනාහි යහළුවාගේ හේතුවෙන් ප්‍රාණය හරින්ට කැමැත්තෙහිද, ඒ මම ඔබගේ යහළුවා මුදා හරිමි. මේ හංස රජතෙම නුඹ අනුව යන්නෙක් වේවායි වැදිතෙම කීයේය.
2473. එම්බා වැදි පුත්‍රය, යම්සේ අද මම බන්ධනයෙන් මිදුනාවූ මේ පක්ෂිරජ දැක සතුටු වෙම්ද, මෙපරිද්දෙන්ම නුඹද සියලු නෑයන් සමග සතුටු වේවායි අනුමෝදන් කෙළේය.
2474. කිමෙක්ද, පින්වත් මහරජ, ඔබට සැපද, කිමෙක්ද පින්වත්හට නිරෝගද කිමෙක්ද, මේ රට සමෘද්ධද, ධර්මයෙන් අනුශාසනාකරන්නෙහි දැයි (හංසරාජයා ඇසීය.)
2475. එම්බා හංසරාජය, මට නිදුක්ද වේමය තවද හංස රාජය, නීරෝගයදවේ. තවද මේ රට සමෘද්ධය, මම දැහැමින් අනුශාසනා කරමියි (රජතෙම කීයේය.)
2476. කිමෙක්ද, පින්වතාගේ ඇමැතියන් කෙරෙහි කිසියම් දෝෂයක් නැත්තේද, කිම, ඔබගේ සතුරෝ දකුණු දිගට නොයන සෙවනැල්ල මෙන් දුරුවූවාහු දැයි ඇසීය.
2477. තවද මාගේ ඇමැතියන් කෙරෙහි කිසි දොසෙක් නැත්තේය. තවද මාගේ සතුරෝ දකුණු දිගට නොයන සෙවනැල්ල මෙන් දුරුවූවාහුයයි කීයේය,
2478. කිම ඔබගේ භාර්‍ය්‍යාතොමෝ සමාන ගුණ ඇත්තීද කීකරුවූවාද, ප්‍රිය වචන කියන්නීද, පුත්‍රයන් රූපය යශස් යන මෙයින් යුක්තවූවාද, ඔබගේ කැමැත්තට අනුව පවත්නී දැයි ඇසුයේය.
2479. තවද මාගේ භාර්‍ය්‍යාතොමෝ සමාන ගුණ ඇත්තීය. කීකරුය. ප්‍රිය වචන කියන්නීය, පුත්‍රයන්ය, රූපය, යශස්ය යන මෙයින් යුක්තවූවාය. මාගේ කැමැත්ත අනුව පවත්නී යයි කීයේය.