5. රොහන්ත මෘග ජාතකය
2432. “චිත්‍රකය, මේ රැලෙහිවූ මුවෝ මරණයට බියවූවාහු පැනදුවත්. තෝද යව, බලාපොරොත්තු නොවෙව. තා සමග ඒ මුවෝ ජීවත්වන්නාහුයයි රෝහන්ත මෘගතෙම කීයේය.
2433. “එම්බා රෝහන්ත මෘගරාජය, මම නොයමි. මාගේ හෘදය ශෝකයෙන් අදිනු ලැබේ. මම ඔබ නොහරින්නෙමි. මාගේ ජීවිතය මෙහි හරින්නෙමියි චීත්‍රකතෙම කීයේය.
2434. “ඇස් අන්ධවූ පිළිදැගුම් කරන්නෙකු නැත්තාවූ ඒ අපගේ මව්පිය දෙදෙනා වනාහි ඒකාන්තයෙන් මැරෙන්නාහුය. එහෙයින් සහෝදරය නුඹද යව, බලාපොරොත්තු නොවෙව, තොප සහ ඒ මව්පියෝ ජීවත් වන්නාහුයයි (රෝහන්ත මෘගතෙම කීයේය.)
2435. “පින්වත් රෝහන්ත මෘගරාජය, මම නොයමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළපුඩුවෙහි බැඳුනාවූ ඔබ හැර නොයන්නෙමි. මෙතන්හිම ජීවිතය හරින්නෙමියි (චිත්‍රක මෘගතෙම කීයේය.)
2436. “බියවනසුළු තැනැත්තිය, වහා යව, මෙයින් පැන දුවව, මම යකඩ කණුවක් සිටුවා කරණලද මලපුඩුවෙක්හි බැඳුනේ වෙමි. තීද යව, බලාපොරොත්තු නොවෙව. තී සමග ඒ මුවෝ ජීවත්වන්නාහුයයි සුතනු නම් නැගනියට කීයේය.
2437. “එම්බා රෝහන්ත නම් මෘගරාජය, මම නොයමි. මාගේ හෘදය ශෝකයෙන් අදනාලැබේ. මම ඔබ හැර නොයන්නෙමි. මෙතැන්හිම මාගේ ජීවිතය හරින්නෙමියි සුතනු නම් මුවදෙන කීයේය.
2438. “එම්බා සුතනුව, ඇස් අන්ධවූ පිළිදැගුම් කරන්නෙකු නැත්තාවූ ඒ අපගේ මව්පිය දෙදෙනා වනාහි ඒකාන්තයෙන් මැරෙන්නාහුය. තීද මෙතැනින් යව, බලාපොරොත්තු නොවෙව, තී හා සමග මව්පියෝ ජීවත්වන්නාහුයයි රොහන්ත මෘග තෙම කීයේය.
2439. “පින්වත් රෝහන්ත මෘගරාජය, මම මෙතැනින් නොයමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගණියි. පුඩුවෙහි බැඳුනාවූ ඔබ හැර නොයන්නෙමියි මෙතැන්හිම ජීවිතය හරින්නෙමියි (සුතනු නම් නැගණියද කීයේය.)
2440. “රෞද්‍ර ස්වභාව ඇත්තාවූ ආයුධයක් අතින් ගත් ඒ මේ වැදිතෙම එයි. හෙතෙම අද අපට හීයෙන්ද, අඩයටියෙන්ද පහරදී හිංසා කරන්නේය. (එහෙයින් වහා පැනයව් යයි මුවරජතෙම කියේය.
2441. “භයින් පෙළුනාවූ, භයින් තැතිගත්තාවූ බියවන සුළුවූ ඒ මුවැත්තී මොහොතක් කල් පලාගොස් සිට ඉතා දුෂ්කරවූවක් කෙළේය. මරණය සඳහා නැවත පෙරලා ආයේය.”
2442. “මිදුනාහු පුඩුවෙහි බැඳුන ඔබ සමීපයෙහි හැසිරෙත්. ඒ මේ මුවෝ ඔබට කවරහු වෙද්ද, ජීවිතය හේතු කොටගෙණවත් ඔබ හැර යන්ට නොකැමැති වෙත්යයි වැදිතෙම ඇසීය.
2443. “එම්බා වැදි පුත්‍රය, මොව්හු සමාන කුස ඇත්තාවූ එක මව වෙත වැඩුනාවූ මාගේ සහෝදරයෝ වෙත්. ඔව්හු ජීවිතය හේතුකොට ගෙණවත් මා හැර යන්ට නොකැමැති වෙත්යයි මුව රජතෙම කීයේය.
2444. “එම්බා වැදිපුත්‍රය, පිළිදැගුම් කරන්නෙකු නැත්තාවූ ඇස් අන්ධවූ අපගේ මව්පිය දෙදෙන වනාහි ඒකාන්තයෙන් මැරෙන්නාහුය. එහෙයින් ඔවුන් දෙදෙනාගේද අප තිදෙනාගේද පස් දෙනෙකුන්ගේ ජීවිතය දෙව, මාගේ සහෝදරයා මුදා හරිනු මැනවැයි චිත්තක නම් මෘගතෙම වැද්දාට කීයේය.
2445. “එම්බා මුවරජ, ඒ මම මව්පියන් පොෂණය කරන්නාවූ මුව රජහු මුදා හරින්නෙමි. මරණයෙන් මිදුනාවූ මහා මෘගරාජයා දැක මව්පියෝ සතුටු වෙත්වායි වැදිතෙම කීයේය.
2446. “එම්බා වැදිපුත්‍රය, අද මම මරණින් මිදුනාවූ මුව රජහු දැක යම්සේ සතුටුවෙම්ද, එසේම නුඹද සියලු තෑයන් සමග සතුටුවේවායි චිත්‍රකතෙම අනුමෝදනා කෙළේය.
2447. “පුත්‍රයිනි, ජීවිතය මරණයට ලංව සිටි කල්හි කෙසේනම් මිදුනේවේද, වැදිතෙම මළ පුඩුවෙන් කෙසේ මුදා හැරියේදැයි (මව්පියෝ ඇසූහ)