500. සිරිමන්ද ජාතකය
සෙනකය, ප්රඥාවෙන් යුක්තවූ නමුත් සිරි සම්පතින් හීනවූ තැනැත්තාද, යශස් ඇත්තාවූ නමුත් ප්රඥාවෙන් තොරවූ තැනැත්තාද යන මේ දෙදෙනා ගැන මම තොප විචාරමි. මොවුන් අතුරෙන් කවරෙක් ශ්රේෂ්ඨ යයි කුශලයෝ කියද්ද?
මහරජ, පණ්ඩිතයෝද, බාලයෝද, ශිල්ප දන්නෝද, ශිල්ප නොදන්නෝද, යහපත් ජාති ඇත්තෝද යන හැමදෙනා ජාති හීන වූ නමුත් යශස් ඇති (ධනවත්) තැනැත්තාගේ මෙහෙකරුවෝ වෙති. මෙය දැක මම කියමි: ප්රඥාව හීනය, සිරි සම්පතම ශ්රේෂ්ඨය.
සකල ධර්මයන් දන්නාවූ මහෝධය, අග්රවූ ප්රඥා ඇති තොපගෙන්ද විචාරමි. යශස් ඇති බාලයාද, අල්ප භෝග ඇති පණ්ඩිතයාද යන මොවුන් අතුරෙන් කවරෙක් ශ්රේෂ්ඨ යයි කුශලයෝ කියද්ද?
බාලතෙම මෙයම ශ්රේෂ්ඨ යයි සිතමින් පව්කම් කරයි. මෙලොව පමණක් දකියි. පරලොව නොදකියි. බාලයා දෙලොවෙහිම පරාජය ලබයි. මෙය දැක මම කියමි: ප්රඥාවම ශ්රේෂ්ඨය, යශස් ඇති බාලයා (ශ්රේෂ්ඨ) නොවේ.
ශිල්පය භෝග උපදවන්නේ නැත. ඥාතීහුද, ශරීරයේ ඉඩකඩද භෝග උපදවන්නේ නැත. ගොළුවූද මූගවූද සැප විඳින්නාවූ සිරිමන්දයා බලව. ජනයා ශ්රී කාන්තාව නැත්තාවූ පණ්ඩිතයා අතහැර සිරිමත් වූ මෝඩයා ඇසුරු කරති. මෙය දැක මම කියමි: ප්රඥාව හීනය, සිරි සම්පතම ශ්රේෂ්ඨය.
අල්ප ප්රඥා ඇත්තා සැප ලැබ මත් වෙයි. දුක ස්පර්ශ කළ කල්හි මුළාවට පැමිණෙයි. හෙතෙම ආගන්තුකවූ සැපෙන් හෝ දුකින් ස්පර්ශ කරන ලද්දේ ග්රීෂ්ම කාලයේ දියෙන් ගොඩලූ මත්ස්යයෙකු මෙන් වෙවුලයි. මෙය දැක මම කියමි: ප්රඥාවම ශ්රේෂ්ඨය, යශස් ඇති බාලයා (ශ්රේෂ්ඨ) නොවේ.
වනයෙහි ඵල සහිතවූ රුකක් හාත්පසින් පක්ෂීහු යම්සේ හැසිරෙත්ද, එසේම ධනය ඇති භෝග සහිතවූ පොහොසතා අර්ථය කැමතිවූ බොහෝ ජනයා ඇසුරු කරති. මෙය දැක මම කියමි: ප්රඥාව හීනය, සිරි සම්පතම ශ්රේෂ්ඨය.
බලවත් වූ බාලයා මනාකොට ධනය නොලබයි. බලහත්කාරයෙන් ධනය ලබයි. නිරපාලකයෝ හඬන්නාවූ ඒ දුෂ්ප්රාඥයා නිරයෙහි ඉතා අදිති. මෙය දැක මම කියමි: ප්රඥාවම ශ්රේෂ්ඨය, යශස් ඇති බාලයා (ශ්රේෂ්ඨ) නොවේ.
ගංගාවට වැටෙන්නාවූ යම් කිසි ගංගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ නාම ගෝත්ර හැර දමති. සමුද්රයට වදින්නාවූ ගංගාව ලෝකයෙහි වෙනම නොපෙනේ. සමුද්රයම ඍද්ධියෙන් වැඩිවෙයි. මෙය දැක මම කියමි: ප්රඥාව හීනය, සිරි සම්පතම ශ්රේෂ්ඨය.
යමක් අක්ෂය යයි කියත්ද, ඒ මහා සාගරයට ගංගාවෝ හැමකල්හි ගලා බසිති. ඒ සාගරය නිත්යවූ උදාර වේග ඇත්තේ මහා සමුද්රය වෙරළ ඉක්මවා නොයයි.
එසේම බාලයාගේ පැතීම් හා සම්පත් කවදාවත් ප්රඥාව ඉක්මවා නොයයි. මෙය දැක මම කියමි: ප්රඥාවම ශ්රේෂ්ඨය, යශස් ඇති බාලයා (ශ්රේෂ්ඨ) නොවේ.