499. සිවි ජාතකය
52. “මහරජ්ජුරුවෙනි, දුරසිට ඇසින් නොදක්නේ ජරාවට පැමිණ මහළුවූයේම ඇසක් ඉල්වාගන්ට ආයේ වෙමි. යාඥා කරණලද්දේ මට ඇසක් දුනමැනව, අපි දෙදෙනා එකැස් ඇත්තෝ වන්නෙමුයි. (බමුණු වෙස් ගත් ශක්රතෙම කීයේය.
53. “වණිබ්බකය, කවරෙකු විසින් අනුශාසනා කරණ ලද්දේ ඇස් ඉල්වන්ට මෙහි ආයෙහිද, මිනිසා විසින් යමක් දීමට දුෂ්කරයයි කියද්ද, දීමට ඉතා දුෂ්කරවූ උතුම් ශරීරාවයවයක් වූ ඒ ඇස් ඉල්වන්නෙහිදැයි සිවිරජතෙම කීයේය.
54. “මහරජ, දෙවියන් අතර සුජම්පතීයයි යමෙකුට කියද්ද, මනුෂ්යලෝකයෙහි ඔහුට මඝවන්තයයි කියත්. ඒ ශක්රයා විසින් අනුශාසනා කරණලද්දේ වණිබ්බකවූ මම ඇස් ඉල්වන්ට මෙහි ආයේ වෙමි.
55. “ඉල්වීම් අතුරෙන් මාගේ මේ ඉල්වීම උතුම්වේ. ඉල්ලනලද්දේ මට ඇස් දුනමැනව. මිනිසා විසින් දීමට දුෂ්කරයයි යමක් කියද්ද, එබඳුවූ ඇසක් මට දුනමැනව.
56. “යම් අර්ථයකින් යම් කරුණක් ප්රාර්ථනා කරමින් මෙහි ආයේද බ්රාහ්මණය, තොපගේ ඒ අදහස් සමෘද්ධ වෙත්වා. ඇස් ලබව”
57. බමුණ, එක ඇසක් ඉල්වන්නාවූ තොපට මම ඇස් දෙකම දෙමි. එයින් ඇස් ඇත්තෙක්ව ජනයා බලාසිටියදී යව, තෝ මා සමීපයෙන් යමක් කැමැත්තෙහිද, එය තට සමෘද්ධ වේවායි සිවිරජතෙම කීයේය.
58. දෙවයන් වහන්ස, ඇස් නොදෙනු මැනව, ඇස්දී අප සියල්ලන් හැර නොදමනු මැනව, මහරජ්ජුරුවන් වහන්ස, බොහෝවූ මුතුද වෙරළු මිණිද යන වස්තුව දුන මැනව,
59. දෙවයන් වහන්ස, අසුන් යොදන ලද රථයන්ද සරසනලද ආජානීය අසුන්ද දෙනු මැනව. මහරජ්ජුරුවෙනි, රණින් කළ ආභරණ ඇත්තාවූ ඇතුන් දෙනු මැනව.
60. රජ්ජුරුවන් වහන්ස, සේනා සහිතවූ රථ සහිතවූ සියලු සිවිරට වාසීහු හැමකල්හි ඔබවහන්සේ යම්සේ හාත්පස පිරිවරන්නාහුද, මෙසේ ඇස් නොදී සෙසු වස්තූන් දුන මැනවයි, නුවර වැස්සෝ කීහු.
61. යමෙක් ඒකාන්තයෙන් යමක් දෙන්නෙමි කියා නොදීමෙහි සිත ඇති කරන්නේද, හෙතෙම බිම තිබුනාවූ මලපුඩුවක් බෙල්ලෙහි බහා ගණියි.
62. යමෙක් ඒකාන්තයෙන් යමක් දෙන්නෙමියි කියා නොදීමට සිතන්නේද, හෙතෙම පවිටෙකුටත් වඩා පවිටු වූයේ යමයාගේ අණ පවත්නා තැනට පැමිණියේ වෙයි.
63. යමක් වනාහි ඉල්වන්නේ නම් එයම දෙන්නෙමි. යමක් නොඉල්වානම් එය නොදෙන්නෙමි. බමුණුතෙම යමක් මගෙන් ඉල්වාද ඒ මම එයම දෙන්නෙමියි රජතෙම කීයේය.
64. මහරජ, ආයුෂයද වර්ණයද සැපයද බලයද යන මේ කවර දෙයක් පතමින් ඇස් දෙන්නෙහිද සිවිරට වාසීන්ට උතුම්වූ රජතෙමේ පරලොව සැප හේතුකොටගෙණ කෙසේනම් ඇස් දෙන්නේදැයි වැසියෝ ඇසූහ.
65. ඒකාන්තයෙන් මම යශස් හේතුකොටගෙණ මෙය නොදෙමි. පුත්ර සම්පත්තියක් නොකැමැත්තෙමි, වස්තුවද නොකැමැත්තෙමි, රාජ්යයද නොකැමැත්තෙමි. එතකුදු වුවත් මේ සත්පුරුෂයන් විසින් පුරුදු කරණලද පුරාණ ධර්මයවේ. එසේහෙයින්ම මාගේ සිතද මෙහිම ඇලේයයි රජතෙම කීයේය.
මාගේ ඇස් දෙක මට ද්වේෂ කටයුතු නොවේ. මාගේ ආත්මය මට ද්වේෂ කටයුතු නොවේ. මට සර්වඥතා ඥානය ප්රියය. එබැවින් මම ඇස් දුනිමි.
66. යහළු සීවකය, නුඹ මාගේ යහළුවාද මිත්රයාද වෛද්ය ශිල්පයෙහි මනාව හික්මුනු තැනැත්තාද වෙහිය. මනාකොට මාගේ මේ කීම කරව, මා බලාසිටියදීම ඇස්දෙක උදුරා මේ යාචකයාගේ අතෙහි තබවයි රජතෙම කීයේය.
67. සිවි රජහු විසින් මෙහෙයන ලද රජුගේ කීම කරන්නාවූ සීවක වෛද්යතෙම රජුගේ ඇස් උදුරා බ්රාහ්මණයාට දුන්නේය. බ්රාහ්මණතෙම ඇස් ඇත්තෙක් වූයේය. අන්ධවූ රජතෙම හිඳගත්තේය.